සාමයේ පිය සටහන් දිවයිනට

ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට ජාත්‍යන්තර සාම පා ගමන සඳහා වැඩම කළ පූජ්‍ය පන්නාකර ස්වාමින් වහන්සේ ඇතුළු දූත පිරිස අද දිවයිනට පැමිණ තිබෙනවා.

ලෝක ප්‍රකට “ආලෝකා“ සුනඛයා ද සමඟ මෙලෙස පැමිණි උන්වහන්සේ ඇතුළු පිරිස පිළිගැනීම සඳහා කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ විශේෂ වැඩපිළිවෙළක් සංවිධානය කර තිබෙනවා.

ගුවන් තොටුපළින් පිටත්ව ආ දූත පිරිස පළමුව අත්තනගල්ල රජමහා විහාරය වෙත ගොස් මාධ්‍ය හමුවක් පවත්වන අතර ඉන් අනතුරුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට නියමිතව තිබෙනවා. මෙම සාම පා ගමනට සමගාමීව අනුරාධපුර රුවන්වැලි මහා සෑ රඳුන් අභියස අද පස්වරු තුනට අසදෘශ පූජා පිංකමක් ද ආරම්භ වනවා.

තායිලන්තයේ පූජ්‍ය රතන සා ස්වාමින් වහන්සේ ඇතුළු විදේශීය භික්ෂූන් වහන්සේලා දොළොස් නමක් මෙම ගමන සඳහා එක්ව සිටින අතර “ඇමරිකානු සාම පා ගමනේ“ නිර්මා තෘ පූජ්‍ය පන්නාකර ස්වාමින් වහන්සේ විසින් එහි නායකත්වය දරනු ලබනවා.