ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම, අනතුරු හේතුවෙන් සිදුවන ජීවිත හානි හා ස්ථිර ආබාධ අවම කිරීම සහ ආපදා අවස්ථාවලදී සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් තරුණ තරුණියන් 28,000 දෙනෙකු සඳහා ප්‍රථමාධාර පුහුණුව ලබාදීමේ ජාතික වැඩසටහන ඊයේ (30) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී ආරම්භ කෙරුණා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් ප්‍රථමාධාර දැනුම සමාජයේ මූලික ජීවන කුසලතාවක් බවට පත් කිරීම අපේක්ෂා කෙරෙනවා.
“සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයින පුරා තරුණ තරුණියන් 28,000 දෙනෙකුට ප්‍රථමාධාර හා මූලික ජීවිතාරක්ෂණ (Basic Life Support – BLS) පිළිබඳ න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිතයි.
මෙම වැඩසටහනේ ප්‍රධාන ඉලක්කය වන්නේ ග්‍රාම නිලධාරී වසම් 14,000ක් ආවරණය වන පරිදි පුහුණු ප්‍රථමාධාර ශිල්පීන්ගේ ජාලයක් බිහිකිරීමයි.
