‘මිහිඳු සෙත් මැදුරේ’ රණවිරුවන්ගේ සුවදුක් විමසයි

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න අත්තිඩිය, මිහිදු සෙත් මැදුරේ නේවාසිකව සිටින රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමට ඊයේ (02) එක්වුණා.

යුද හමුදාපති ධුරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඔහු විසින් සිදු කරන ලද පළමු නිල සංචාරය මෙය වීම විශේෂත්වයක් බවයි යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ.

එහිදී, යුද්ධ හමුදාපතිවරයා රණවිරුවන් සමග සුහද කතාබහක නිරත වූ අතර, ඔවුන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු ත්‍යාග පාර්සල් ද ප්‍රදානය කිරීමක් සිදු කළා.

මෙම සංචාරය අතරතුර රණවිරුවන් තමන් විසින් නිර්මාණය කරන ලද සිතුවම් කිහිපයක් යුද හමුදාපති වෙත පිළිගන්වමින් සිය ගෞරවය හා කෘතවේදීත්වය පළ කරනු ලැබූවා.

මෙම අවස්ථාව සඳහා යුද හමුදා සේවා වනිතා සභාපතිනි වින්ද්‍යා ප්‍රේමරත්න, රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ආර්. ජී. එල්. කේ. වීරකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක්ද එක්ව සිටියා.