ගතවූ පැය 24ක කාලය තුළ ලැබුණු වර්ෂාපතනයන් හමුවේ මහවැලි, කැලණි, කළු ගඟ ආශ්රිත ඉහළ ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජල විද්‍යා හා ආපදා කළමනාකරණ ඉංජිනේරු එල්. එස් සූරියබණ්ඩාර මහතා පැවසුවේ මේ හේතුවෙන් එම ගංගාවල ජල මට්ටම් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති බවයි.
ඒ අනුව මහවැලි ගඟ ඉහළ ප්‍රදේශය වන නාවලපිටිය, නානුඔය, වටවල වැනි ප්‍රදේශ වෙත මිලිමීටර් 200කට ආසන්න වර්ෂාපතනයන් සහ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 200 ඉක්මවා වැසි ලැබී ඇතැයිද ඒ මහතා පවසනවා.
මේ හේතුවෙන් නාවලපිටිය සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ ආසන්නයේ සිටින ජනතාවට ගංවතුර අනතුරු ඇඟවීම් පිළිබඳව දැනුම් දීමට පියවර ගත් බවත් මේ වන විට වතුර මට්ටම් සීග්‍රයෙන් වැඩි වීමක් පෙන්නුම් නොකළද සාමාන්‍ය වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ මහතා සඳහන් කළා.
මෙම ගංවතුර තත්ත්වය දිට්වා ආපදාව තරම් වර්ධනයක් සිදුවිය නොහැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන බැවින් ඊයේ (02) රාත්‍රියේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 70 ඉක්මවූ වැසි ලැබීම හේතුවෙන් ක්ෂණිකව වතුර මට්ටම් වැඩිවීම තුළ මෙම තත්ත්වය දක්නට ලැබුණු බවද ඒ මහතා පෙන්වා දුන්නා.