වර්ණවත් නිමාවක නොමැකෙන මතකය

2026 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙ‍ළ අති උත්කර්ශවත් සමාප්ති උත්සවයකින් අවසන් වුනා. මෙවර ශ්‍රී ලංකාවට රන් පදක්කමක් සහ රිදී පදක්කමක් හිමිවූ අතර ඔවුන්ට පදක්කම් සටහනේ හිමිවුනේ 17 වන ස්ථානයයි.

ස්කොට්ලන්තයේ ග්ලස්ගොව් නුවරදී පසුගිය මස 23 වැනිදා ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දින 11 ක් පුරා පැවැත්වුණා. ශ්‍රී ලංකා වේලාවෙන් අද අළුයම 1.30 ටයි සමාප්ති උළෙල ආරම්භ වුනේ. රටවල් 74 කින් ක්‍රීඩක ක්‍රිඩිකාවන් 2729 නෙකු මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයී ක්‍රීඩා උලෙලට එක්ව සිටියා.

ඔස්ට්‍රේලියානු සුපිරි ගායිකා ගූඩ්රම්ගේ ඉදිරිපත් කිරීමත් සමග ක්‍රිඩා උළෙලට සහභාගී වූ සියලුම ක්‍රිඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාංගණයට පිවිසියා. මෙවර සමාප්ති උත්සවයේදී ශ්‍රී ලංකා ධජය රැගෙන යනු ලැබුවේ රන් පදක්කම්ලාභී රුමේෂ් තරංග විසින්. ඔහු වසර 20 කට පසුව පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙලක ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු රන් පදක්කම හිමිකර දීමට සමත්වුණා.

මේ අතර මෙවර අනෙක් පදක්කම හිමිකරගත්තේ පැරා මලල ක්‍රීඩක පාලිත බණ්ඩාරයි. ඔහු කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හිමිකර දුන්නා. මෙවර පදක්කම් සටහනට අනුව පෙරමුණ හිමිකර ගත්තේ ඔස්ට්‍රේලියාවයි. ඔවුන් රන් පදක්කම් 70 ක් රිදී පදක්කම් 45 ක් සහ ලෝකඩ පදක්කම් 56 ක් සමග සමස්ත පදක්කම් 171 ක් හිමිකරගැනීමට සමත්වුනා.