ශ්‍රී ලංකාව සහ චීනය අතර වෙළෙඳ හා ආයෝජන සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට සාකච්ඡා

ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික, රාජ්‍යතාන්ත්‍රික සහ වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ චීන මහජන ජනරජයේ තානාපති H.E. Wei Huaxiang මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර පැවැත්වුණා. ඒ වෙළෙඳ අමාත්‍යාංශයේදී.

මෙම සාකච්ඡාව සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශ ලේකම් කේ. ඒ. විමලේන්තිරරාජා මහතා, වැඩබලන වාණිජ අධ්‍යක්ෂ ජනරාල් සෝමසේන මහදිවුල්වැව මහතා මෙන්ම ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් එක්ව සිටියා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, ශ්‍රී ලංකාව වර්තමානය වන විට ආර්ථික හා දේශපාලනික ස්ථාවරත්වයක් කරා ළඟා වී ඇති අතර, ඉදිරියේදී විදේශීය ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ අපනයන වර්ධනය කරගැනීම රජයේ ප්‍රමුඛතාව වී ඇති බවයි. විශේෂයෙන්ම රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීම, කොළඹ වරාය කේන්ද්‍ර කරගත් සමුද්‍රීය ක්ෂේත්‍රය, නිල් ආර්ථිකය (Blue Economy), තොරතුරු තාක්ෂණය, සංචාරක සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි නව ආයෝජන අවස්ථා පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

එසේම, චීනය වෙත ශ්‍රී ලංකාවේ මුහුදු ආහාර, එළවළු, පලතුරු, තේ සහ මැණික් වැනි නිෂ්පාදන අපනයනය කිරීම තවදුරටත් පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද සාකච්ඡා කෙරිණි. හොංකොං රාජ්‍යය කේන්ද්‍ර කරගනිමින් ජාත්‍යන්තර හා චීන වෙළෙඳපොළට අවතීර්ණ වීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳව චීන තානාපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දෙරට අතර නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) පිළිබඳව කරුණු පැහැදිලි කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, 2025 ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ඉහළ පෙළේ සාමාජිකයන්ගෙන් සමන්විත කමිටුව මගින් දැනට පවතින, අනාගතයේ ඇති කර ගැනීමට නියමිත සහ සාකච්ඡා මට්ටමේ පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම් පිළිබඳව විමර්ශනය කර සකස් කරන ලද වාර්තාව පදනම් කරගනිමින්, පසුගිය සතියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඇතිව ‘ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව’ (National Trade Negotiation Committee) පත් කරන ලද බවයි.

ප්‍රධාන වෙළෙඳ සාකච්ඡාකරු (Chief Negotiator) ලෙස වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වෙළෙඳ සාකච්ඡා කමිටුව මගින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා මෙහෙයවනු ලබයි. ඒ අනුව, දැනට තාවකාලිකව නතර වී ඇති චීන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම් සාකච්ඡා ද නැවත ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම සාකච්ඡා නැවත ආරම්භ කිරීම හරහා චීනය සමඟ පවතින ආයෝජන සහ වෙළඳ සබඳතා තවදුරටත් වර්ධනය කරගනිමින්, නව වෙළඳපොළ ප්‍රවේශයන් ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයනයන් චීන වෙළෙඳපොළ තුළ ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වේ.

දෙරට අතර පවතින මිත්‍රශීලී සබඳතා පදනම් කරගනිමින් වෙළෙඳ හා ආයෝජන සහයෝගීතාව ඉදිරියටම පවත්වාගෙන යාමට දෙපාර්ශ්වයම මෙහිදී එකඟතාව පළ කළහ.