අඩු පීඩන කලාපය අද පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි – ඉදිරියේදී සුළි කුණාටු අවදානමක්

උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය එම ප්‍රදේශය ආශ්‍රිතවම පවතිමින් අද (24) දින වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේනතුව පවසනවා.

එම පද්ධතිය බටහිරට බරව වයඹ දෙසට ගමන් කරමින් තවදුරටත් වර්ධනය වී ඔක්තෝබර් මස 25 වන දින වන විට ගැඹුරු පීඩන අවපාතයක් බවටත්, ඔක්තෝබර් මස 26 වන දින උදෑසන වන විට බෙංගාල බොක්කේ බටහිර මධ්‍යම ප්‍රදේශය ආශ්‍රිතව සුළි කුණාටුවක් බවටත් පත්වීමට ඉතා ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතියේ සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැතිවුවද එම පද්ධතිය වෙත ඇදීයන සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින බැවින් දිවයිනේ නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරිදින කිහිපයේ දී අපේක්ෂා කෙරේ.

බස්නාහිර, සබරගමුව, උතුර සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.