මුදල් විශුද්ධිකරණ පනත යටතේ සැකකාරියක් අත්අඩංගුවට

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව වැරදි සිදුකිරීම සම්බන්ධයෙන් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු ඇතුළු සැකකරුවන් 05 දෙනෙකු සම්බන්ධව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත ප්‍රකාරව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

ඒ අනුව එම එක් සැකකරුවෙකුගේ සහෝදරියක් විසින් පිළියන්දල ප්‍රදේශයේ පෞද්ගලික බැංකු දෙකක පවත්වාගෙන ගිය ගිණුම් 04 ක් සම්බන්ධව තොරතුරු අනාවරණය වී ඇත. මෙම ගිණුම් වෙත රුපියල් කෝටි 7 කට අධික මුදලක් සංසරණය වී ඇති බවත් නිරීක්ෂණය වී ඇත.

මෙම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් විසින් මුදල් බැර කර ඇති බවට වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ අනුව ගිණුම් පවත්වාගෙන ගිය සැකකාරිය ඊයේ (05) දින විමර්ශන නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය වයස අවුරුදු 49 ක් වන මඩපාත ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය අද (06) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව ඇති අතර නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනවා.