
කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ පූජක දිවියට වසර පනහක් සම්පූර්ණ වී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් යනු මෙරටින් බිහි වූ අනභිභවනීය අන්තර්ජාතික සන්නාමය යැයි සඳහන් කළහොත් එය අතිශයෝක්තියක් නොවේ. අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ චරිතය සහ උන්වහන්සේගේ බහුවිධ භූමිකාවන් පිළිබඳ හේතු සාධක ඉස්මතු කරන කෘතියක් සම්පාදනය කිරීම අතිශයින්ම කාලෝචිත ප්රයත්නයකි. උන්වහන්සේ ඉතාමත් දැනුම්වත් පඬිවරයෙකි. භාෂා ගණනාවක් පිළිබඳ නිපුණත්වයෙන් හෙබි උත්තමයෙකි. ඉතා අනර්ඝ ලේඛකයෙකි. සිංහල බෞද්ධ සංස්කෘතික උරුමයන් පිළිබඳ දැඩිව පෙනී සිටින ධර්මධරයෙකි. සිරිලක කිතු සසුනට නව ආයතන බිහි කිරීම සඳහා අතහිත යෙදවූ පුරෝගාමියෙකි. උන්වහන්සේ වතිකානු රාජ්‍යයේ ඉහළ නිලයක් ඉසුලූ රාජ්යතාන්ත්රිකයෙකි.
දැනුම් විශාරදවරයෙකි
එසේම ශුද්ධවූ බයිබලය පිළිබඳ ද විශාරදයෙකි. කතෝලික සභාවේ ජන වන්දනාව පිළිබඳ ඉතාමත් පැහැදිලි දැක්මක් ඇති කෙනෙකි. ඉතා චතුර මෙන්ම සාරගර්භ දේශකයෙකි.
දුප්පත් ජනතාවට අතහිත දුන් කෙනෙකි. පාස්කු ඉරුදින ප්‍රහාරයේ සාධාරණත්වය වෙනුවෙන් දිවිහිමියෙන් පෙනී සිටින නායකයෙකි. විශිෂ්ට අධ්‍යාපනඥයකු ලෙස පුරෝගාමී වී නවීන පහසුකම් සහිත මනරම් සරසවියක් ආරම්භ කළ උත්තමයෙකි. මෙවැනි බහුවිධ භූමිකාවන් සහිත තවත් චරිත අප සමාජයේ තිබේදැයි යන්න විමසා බැලිය යුත්තකි. එමෙන්ම, එම බහුවිධ භූමිකා ඉතා සාර්ථක අවසානයක් කරා රැගෙනයාමට උන්වහන්සේ සමත් වීමත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණකි. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ තුළ තිබෙන මහා ගුණ කඳ අප වැන්නන්ට සර්වප්‍රකාරයෙන්ම අකුරු කළ නොහැකි වුවත්, අපගේ නුවණට වැටහෙන සහ උන්වහන්සේ සමඟ වන අපගේ පෞද්ගලික අත්දැකීම් තුළින් ලැබූ දැනුමේ ප්‍රමාණයට හෝ ලියා තැබීමට අදහස් කළේ මාගේ පූජක කැඳවීමේ “ගුරු පූජාවක්” ලෙසිනි.
නිහතමානීත්වය
නිහතමානී ගුණයෙන් යුත් උන්වහන්සේගේ හදවත අතිශයින්ම කාරුණිකය. එබැවින් අපරිමිත කරුණාවකින් දුප්පතුන්ට සලකන සේක. අසරණයින්ට පිහිටවීමට උන්වහන්සේ නිරන්තරයෙන් කැමැත්තෙන් පසුවූ කෙනෙකි.
එතුමාණන් තුළ තිබූ නිහතමානී කාරුණික ගුණය නිසා ඕනෑම දුප්පත් අසරණයකුට සමීපයට පැමිණ කතා කිරීමට හැකි වීම ද ඉතාමත්ම ප්‍රශංසනීය කටයුත්තකි.
සමානාත්මතාව
ලොව තතු තම ප්‍රඥාවේ නුවණින් දකිමින් වාසය කරන අප අගරදගුරු කාදිනල් හිමිපාණන් දුප්පතා ගැනත්, පොහොසතා ගැනත්, බලවතා ගැනත් විශේෂත්වයක් දක්වන්නේ නැත. මෙයින් අදහස් කරන්නේ පුද්ගලයකුගේ තරාතිරමට අනුව කතාබස් නොකර සිටින්නේය යන අදහස නොවන බව කාරුණිකව සැලකුව මැනවි. ධනවතකුට, බලවතකුට හෝ පාලකයකුට වුවත් යමක් කීමට කිවයුතු අවස්ථාවේදී නිර්භීතවම ඉදිරියේ හෝ ප්‍රසිද්ධියේ කියාපෑමේ හැකියාව උන්වහන්සේ සතුය. ප්‍රබල රාජ්‍ය පාලකයින් කිහිප දෙනෙකුම අරබයා පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසු සාධාරණත්වය ඉටු කිරීම ප්‍රමාද වන විට තමන්ට අහිමිවන දේවල් ගැන නොසිතා නිර්භීතවම තම ජනතාව වෙනුවෙන් පෙනී සිටීම ද, ප්‍රසිද්ධියේ දෙසූ දෙසුම් ද කාටත් අමතක නොවනු ඇත.
ඝෘජු බව
ලාභ ප්‍රයෝජන, වාසි ලබාගැනීමේ අරමුණින් කිසි කලෙක අනුන්ගේ නැති ගුණ කියමින් සුදු හුණු නොගෑවේය. අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අන් අයට නොපෙනෙන කරුණු ද විනිවිද දැකිය හැකි නිපුණ, තියුණු නුවණක් ඇති නායකයකු බව ඉතා පැහැදිලිය. මෙයට පෙන්නුම් කළ හැකි පැහැදිලි උදාහරණය නම් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරුදින මහා මිනිස් සංහාරයෙන් පසු උන්වහන්සේගේ ක්‍රියා කලාපයයි. කතෝලික ක්‍රිස්තියානි විශ්වාසයේ මුදුන්මල්කඩ වූ මරණයේ විජයග්‍රහණය සමරන ලද පාස්කු ඉරුදින කතෝලික, ක්‍රිස්තියානි දේවස්ථාන ඉලක්ක කර ත්රස්තවාදීන් පුපුරාහල බෝම්බ ප්‍රහාරයෙන් වටිනා මිනිස් සම්පත ඉතාමත් අවාසනාවන්ත ලෙස ඝාතනය වූ දිනයක් බවට පත්විය.
සැබෑ ක්‍රිස්තියානි නායකත්වය
එවැනි උතුර – දකුණ අමතක වන මොහොතක සැබෑ ක්‍රිස්තියානි නායකත්වය නම් මේ යැයි ප්‍රදර්ශනය කරමින් අගරදගුරු හිමිපාණන් සිහි බුද්ධියෙන් ක්‍රියාකරමින් මුළු රටක් වෛරයේ ගින්නෙන් අවුළුවා හැකිව තිබියදී කිසිදු මිනිස් ප්‍රාණයකට අබ ඇටයක තරම්වත් කරදරයක් නොවී වළක්වා ගත් සේක. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැලසුම් කළ උන්මත්තකයින්ගේ අරමුණු ඔවුන් සිතුසේ ඉටුවන්නට නොදී, ව්‍යාප්තව ගිය හැකි, මුදා හළ හැකි ප්‍රචණ්ඩත්වයට තිත තබමින් තම ස්ථාවරය ගැන සමස්ත සමාජයම දැනුම්වත් කර තමන් අදහන ආගම සැබෑ ලෙස ජීවත් කරවීමේ උතුම් පණිවුඩය දෙමින් ජාති, ආගම් භේදයකින් තොරව එක මවකගේ දරුවන් ලෙස සාමයෙන්, සංහිඳියාවෙන්, සංයමයෙන් හා සහෝදරත්වයේ නාමයන් සිහිගන්වමින් ක්‍රියා කිරීමට දෙන උතුම් ආදර්ශය හා එහිලා ප්‍රදර්ශනය කළ සැබෑ කිතුනු නායකත්වයට උත්තමාචාරය පිදිය යුතුමය.
වරදාන පසෙකලා කරන සේවාව
තවද, අප දන්නා තරමින් අප අත්දැකීම්වලට අනුව රටක පාලකයින් තමන්ට කරදරයක් වේ යැයි සිතන ජනතාවට දැනෙන නායකත්වයක් දෙන, ප්‍රභූවරුන් මෙල්ල කරන්නේ නොයෙකුත් වරදාන, වරප්‍රසාද, ප්රතිලාභ ලබාදෙමිනි. අපගේ කාදිනල් හිමිපාණන්ට වෙඩි නොවදින මෝටර් රථයක් ලබා දෙන්නට එවකට පැවැති රජය ඉදිරිපත්වීම කාදිනල් හිමිපාණන්ගේ ජීවිතයට දක්වන ලද සැලකිල්ලකට වඩා, උන්වහන්සේව දිනා ගැනීමට දරන ලද ප්රයත්නයකි.
පුද්ගලිකත්වයට වඩා සැළකූ පුරවැසි ආරක්ෂාව
ප්‍රතිපත්තිගරුක සැබෑ කිතුනු නායකත්වය පෙන්නුම් කරමින් දේශපාලනඥයින්ගේ මෙම උගුලට උන්වහන්සේ හසුවූයේ නැත. එම ප්රදානය ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ කියා සිටියේ එක පුද්ගලයකුගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වනවාට වඩා රටේ සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව සැලසීම ගැන සොයා බලා කටයුතු කිරීම වැදගත් බැවින් ඒ ගැන අවධානය යොමු කර ක්‍රියා කරන ලෙසයි.
යුදෙව් ආගම පිළිබඳව දාර්ශනිකයකු වූ මයිමෝනිඩෙස්චර්, ඉස්ලාමීය දාර්ශනිකයකු වූ අව්රෝස්ට හා රෝමානු කතෝලික ආගමේ දර්ශනවාදියකු වූ තෝමස් ඇක්වයිනස් හට බෙහෙවින් බලපා තිබුණේ ග්‍රීක දර්ශනයේ ඇරිස්ටෝටල්ගේ මතවාදයන්ය.
පෘථුල දැනුම
දහසය වැනි සියවස වන විට ඇරිස්ටෝටල්ගේ අදහස්, මතවාද බටහිර ලෝකයේ මුල්බැසගෙන තිබුණි. එක්වරම එම දර්ශනයන් ගැන ලිවීමට හේතු වූයේ අප කතාවේ ප්‍රධාන භූමිකාව වන අපගේ කාදිනල් හිමිපාණන් වහන්සේගේ බටහිර දර්ශනය, සාහිත්‍යය, සංස්කෘතිය පිළිබඳ උන්වහන්සේගේ දැනුම අතිවිශාල වීමය. වරක් මා බ්‍රිතාන්‍ය දර්ශනවාදියකු වූ ජෝන් ලොක් පිළිබඳ උන්වහන්සේගෙන් විමසූ විට ඒ පිළිබඳව සම්පූර්ණ විස්තරයක් මා හට එම මොහොතේම විස්තර කර දෙන ලදි. මෙහි ඇති විශේෂ ලක්ෂණය නම් දේව ධර්මය සහ ශුද්ධවූ බයිබලය පිළිබඳ විශාරදයකු වන උන්වහන්සේට සෑම විෂය පථයක් පිළිබඳම දැනුම අති විශාල වීමය.
කොළඹ පදවියේ සියලුම පියතුමන්ලා අත්දැකීමෙන් දන්නා කරුණක් ඇත. එනම් කාදිනල් හිමිපාණන්ගේ පෞද්ගලික ලෝක සම්බන්ධතා භාවිත කරමින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පියතුමන්ලාගේ යුරෝපා රටවල්වල ආධ්‍යාත්මික සංචාරවලදී එක් එක් රටවල් පසුකරමින් අප බස් රථය ගමන් කරන විට විස්තර, අභ්‍යන්තර තොරතුරු මෙන්ම එම රටවල ඉතිහාසය ද ඉතාමත් සරලව අපගේ කාදිනල් හිමිපාණන් පැහැදිලි කරන ආකාරය විස්මිතය. මේ ආකාරයෙන් ජාතික සහ අන්තර්ජාතික මට්ටමෙන් ඉදිරියේදී ද උන්වහන්සේට ක්‍රියා කිරීමට පූජකවරයේ පනස් වැනි සැමරුම සමරන මේ මොහොතේදී හෘදයංගමව ප්‍රාර්ථනා කරමි. එලෙසම උන්වහන්සේගේ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථකව ඉටුකර ගැනීම සඳහා අපගේ හෘදයාගම සුබ පැතුම්!
කැමිලස් ප්‍රනාන්දු පියතුමා
අගරදගුරු මැඳුර, කොළඹ