පහරදීමක් හේතුවෙන් කාන්තාවකට දිවි අහිමි වෙයි

වැලිකඩ පොලිස් වසමේ අංගොඩ ප්‍රදේශයේදී ඊයේ (26) දින සවස් කාලයේ පහරදීමක් හේතුවෙන් කාන්තාවක් මියගොස් තිබෙනවා.

එම ක‍ාන්තාව මුල්ලේරියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට වැලිකඩ පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 65 ක් වූ අක්ගොන, අංගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධියට සම්බන්ධ සැකකරු අසල්වාසී පුද්ගලයෙකු වන අතර මරණකාරිය හා සැකකරු එකම ආයතනයක පිරිසිදු කිරීමේ රැකියාවක් සිදුකරමින් සිට ඇත.

ඇති වූ ආරවුලක් හේතුවෙන් සැකකරු විසින් මරණකාරියගේ නිවසේදී ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදු කර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය මුල්ලේරියාව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිකඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.