පැතුම්ගේ වාර්තාගත ප්‍රහාරය

20-20 ක්‍රිකට් තරගවල ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩකයෙකු ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත් වුණා.

ඒ, ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ඉන්දියාව සමග ඊයේ පැවති තරගයේදී. මෙම තරගයෙන් ඉන්දීය කණ්ඩායම ජය හිමි කර ගත් අතර, ඒ සුපිරි පන්දුවා‍රයේදී.

ඩුබායි හිදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දීය කණ්ඩායමට ලබා දුන්නා.

ඉන්දීය ඉනිම ආරම්භ කළේ, අභිශේක් ශර්මා සහ ශුබ්මන් ගිල්. පළමු කඩුල්ල ලකුණු 15 ක් වන විට දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ අභිෂේක් ශර්මා පන්දු 31 කදී ලකුණු 61 ක් රැස් කළා. තිලක් වර්මා නොදැවී ලකුණු 49 යි.

ඉන්දියාව පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202 ක්. එය මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ කණ්ඩායමක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස්. ලකුණු පුවරුව 7 ක් වන විට කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගියා.

අනතුරුව, කුසල් ජනිත් පෙරේරා සහ පැතුම් නිස්සංක දෙවැනි කඩුල්ලට ගොඩනැගූ සබඳතාව ලකුණු 127 ක්.

කුසල් පෙරේරා තම 20-20 ක්‍රිකට් දිවියේ 16 වැනි අර්ධ ශතකය සමගින් ලකුණු 58 ක් රැස් කළා.

ඔහු දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ, ලකුණු 134 ක් ලෙසයි.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක තම 20-20 ක්‍රිකට් දිවියේ පළමු ශතකය ද සමගින් පන්දු 58 කදී ලකුණු 107 ක් ලබා ගත්තා.

4 පහර 7 ක් සහ 6 පහර 6 ක් ඊට ඇතුළත්. එය, 20-20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරුවෙකු මෙතෙක් ඉනිමක රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

ඉනිමේ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවේදී පැතුම් නිස්සංක දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව සටහන් වූයේ, 191 ක් ලෙසයි.

ඒ අනුව, පන්දු 5 ක් තුළ ඔවුන්ට තරගය ජය ගැනීම සඳහා ලකුණු 12 ක් අවශ්‍යව තිබුණා. කෙසේ වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම ද පන්දුවාර 20 ඇතුළත කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 202 ක්.

ලකුණු සමවීම නිසා ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ලබා දුන්නා.

එහිදී, මුලින් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කඩුලු 2 ක් දැවී ලකුණු 2 ක් ලබා ගත්තා.

ඉන්දීය කණ්ඩායම කිසිවෙකු නොදැවී එක් පන්දුවක් ‍තුළ එම ලකුණු සංඛ්‍යාව පසු කළා.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය හෙට පැවැත්වෙන්නේ පකිස්තානය සහ ඉන්දියාව අතරයි.