වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ඝාතනයට 4ක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් සිව්දෙනෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයා සොයා පොලිසිය විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළා.

වෙඩික්කරු තවත් ‍අයෙකු සමග යතුරු පැදියකින් පලාගිය මාර්ගය දෙපස වෙළඳසැල් සහ නිවාසවල CCTV දර්ශන ඔස්සේයි, විමර්ශන සිදු කෙරුණේ.

පසුව ඔවුන් යතුරු පැදි දෙකකින් පළා යන අයුරු නිරීක්ෂණය වී තිබුණා. වෙඩි තැබීමට පැමිණි සැකකරු යුද හමුදාවෙන් පලාගිය නමගිය අපරාධකරුවෙකු බවට පරීක්ෂණවලින් හෙළි වූ බවයි, පොලිසිය නිවේදනය කළේ.

කැකිරාව නිවාස 50 ප්‍රදේශයේ සැකකරුවන් සැඟවී සිටින බවට ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද අලුයම හැදිසි වැටලීමක් කළා.

ඒ යුද හමුදා නිලධාරීන්ගේ ද සහය ඇතිවයි. එහිදී ඝාතනයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයෙකු සහ කාන්තාවක අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයේ අත්හැර දමන ලද නිවසක් තුළ සිටයදීයි.

එම අවස්ථාවේ එහි සිටි කිහිපදෙනෙකු පොලිස් නිලධාරීන් සමග කළ පොරබැදීමකදී තුවාල ලැබූ පොලිස් නිලධාරියෙකු ප්‍රතිකාර සදහා ද යොමු කර තිබෙනවා.

යතුරුපැදියක්, රුපියල් ලක්ෂ 12කට අධික මුදලක්, හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙන්ම ඒවා භාවිතයට යොදා ගන්නා උපකරණ ද එම ස්ථානයේ තිබී පොලිස් බාරයට ගැනුණා.

සැකකරුවන්ට පහසුකම් සැලසූ පුද්ගලයෙකු ද අත්අඩංගුවේ පසුවන බවයි, පොලිසිය පවසන්නේ.


මේ අතර, පොලිස් නිලධාරීන් සමග පොරබදින අවස්ථාවේ පළා ගිය හක්මණ පරණ ලියනගේ නුවන් තාරක නැමැත්තා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය ඉල්ලා සිටිනවා.

ඔහු කොන්තපෙන බැඳිපිට අගුලුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. උස අඩි 5.6ක් පමණ වන සැකකරුගේ දකුණු අතේ ඉහළ බාහුවේ ඉංග්‍රීසි භාෂාවෙන් අනුරාධා ලෙස ද, වම් අතෙහි හිතුමතේ ජීවිතේ ලෙස ද පච්ච සලකුණු යොදා ඇති බවයි, පොලිසිය පවසන්නේ.

සැකකරු පිළිබද තොරතුරු දන්නේ නම් මෙම දුරකථන අංකවලට දැනුම් දෙන මෙන් පොලිසිය ඉල්ලා සිටිනවා.

මේ අතර, සිද්ධියට සම්බන්ධව තවත් සැකකරුවෙකු ගාල්ල ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගැනුණා. ඒ, වැලිගම පොලිසිය විසින්. ඝාතනයට ආධාර අනුබලදීම ඔහුට එල්ල වී ඇති චෝදනාවයි.