විමල්ගේ වරෙන්තුව අධිකරණය ආපසු කැඳවයි

රුපියල් මිලියන 75 කට අධික වත්කම් හා දේපළ අයතා ලෙස උපයා ගත් බවට චෝදනා ලබා සිටි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද දින නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය වරෙන්තු නිකුත් කළා

මෙම නියෝගය නිකුත් වී  පැය කිහිපයකින් පසුව විත්තිකාර විමල් වීරවංශ මහතා සිය නීතිඥවරයා මාර්ගයෙන් අධිකරණයේ පෙනී සිටි අතර ඉන්පසුව නිකුත් කෙරුණු වරෙන්තුව ආපසු කැඳවීමටද අධිකරණය නියම කළා.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණය විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ මහතා අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයා අද දින නඩුව කැඳවන බව නොදන්නා බැවින් ඔහු අද පැමිණ නොමැති බවයි. 

එම අවස්ථාවේදී ඊට ප්‍රතිචාර දැක්වූ  මහාධිකරණ විනිසුරුවරයා ” මේ නඩුව පසුගිය දෙසැම්බර් මස 18 වනදා කැඳවීමට නියම කළ තිබුණා. එදින මා නිවාඩු ලබා සිටියා. එදින කැඳවීමට නියමිත සියලු නඩු අද දින කැඳවන බව  අධිකරණයේ දැන්වීමක් පල කලා. එසේ තිබියදී විත්තිකරුට අද දින නඩුව කැඳවන බව දන්නේ නැහැ කියලා කියන්න බැහැ. විත්තිකරුට දිනය දන්නේ නැත්නම් අද නීතිඥවරියක් ඉදිරිපත් වුණේ කොහොමද?” යනුවෙන් ප්‍රශ්න කළ විනිසුරුවරයා ඉන් අනතුරුව විත්තිකාර විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා වරෙන්තු නිකුත් කරන ලෙස නියම කළා.

ඒ අනුව මෙම නඩුව යළි ලබන 30 වන දා කැඳවීමටද විනිසුරුවරයා විසින් නියම කරනු ලැබුවා. 

මෙම වරෙන්තුව නිකුත් වී පැය කීපයකට පසුව විත්තිකාර විමල් වීරවංශ මහතා ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා මාර්ගයෙන් අධිකරණය හමුවේ පෙනී සිටියා. 

ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුව ඉකුත් දෙසැම්බර් මස 18 වන දා සහ ජනවාරි මස 30 වනදා විභාගයට ගැනීමට නියම කර තිබූ බව පැවසුවා.

එහෙත්  දෙසැම්බර් මස 18 වනදා විනිසුරුතුමා රාජකාරී නිවාඩු ලබා සිටීම හේතුවෙන් එදින අධිකරණ කටයුතු නොපැවැත්වුණු අතර එම නිසා විත්තිකරු මීළඟ නඩු දිනය වන ජනවාරි මස 30 වනදා අධිකරණයේ පෙනී සිටීමට සූදානමින් සිටි බවත් ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා. 

මේ හේතුවෙන් ඔහු අද දින අධිකරණයට නොපැමිණි බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒ අනුව විත්තිකරු වෙනුවෙන් නිකුත් කර තිබෙන වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරු වරයා විත්තිකරුට යළි ජනවාරි මස 30 වන දා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළා.

2010 වසරේ සිට 2014  වසර දක්වා කාල සීමාව තුළ  අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 75 කට  අධික වත්කම් සහ දේපළ උපයා ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව ගොනුකර තිබුණා.