සුවිශේෂී දේශපාලන තීන්දුවක් ප්‍රකාශයට පත් කරමින්, ගාසා තීරයේ සාමය උදෙසා පිහිටුවා ඇති විශේෂ සාම මණ්ඩලයට (Gaza Board of Peace) එක්වන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට ආරාධනා කර තිබෙනවා.
රුසියානු ජනාධිපති කාර්යාලය පවසන්නේ මෙම ආරාධනය තමන් වෙත ලැබී ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම “Board of Peace” වැඩපිළිවෙළ හරහා ගාසා අර්බුදයට කඩිනම් විසඳුමක් සෙවීම අරමුණයි.
ඇමරිකාව සහ රුසියාව මෙවැනි කරුණකදී එකඟතාවයකින් කටයුතු කිරීම සුවිශේෂී අවස්ථාවක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
ගාසා සාම මණ්ඩලය සඳහා ඉන්දියාව, කැනඩාව සහ තුර්කිය ඇතුළු ලෝක නායකයන් 50කට අධික සංඛ්‍යාවකට ජනාධිපති ට්‍රම්ප් ආරාධනා කර ඇති අතර, හංගේරියාව සහ ආර්ජන්ටිනාව වැනි රටවල් දැනටමත් ඊට එක්වීමට එකඟතාව පළ කර තිබෙනවා.
මේ අතර ගාසා තීරයේ පවතින මානුෂීය අර්බුදයට සහනයක් ලෙස ප්‍රංශය විසින් මෙට්‍රික් ටොන් 383ක පෝෂණාධාර තොගයක් පිටත් අර හැර තිබෙනවා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා නිවේදනය කළේ ‘CGM TOKYO’ නෞකාව ඉරිදා සවස ප්‍රංශයේ ලී හැව්රේ (Le Havre) වරායෙන් පිටත් වූ බවයි. ගාසා තීරයේ දරුවන් 42,000කට වැඩි පිරිසකට මෙමගින් සහන සැලසෙන අතර නෞකාව ඊජිප්තුවේ වරායට ලඟා වීමෙන් පසු එතැන් සිට ආධාර ගාසා තීරයට රැගෙන යනු ලබනවා.
ප්‍රංශ ජනාධිපතිවරයාගේ නිල ගිණුම මගින් මෙම මානුෂීය ආධාර නැව පිටත් වූ බව තහවුරු කර තිබෙන අතර මානුෂීය මෙහෙයුම් සඳහා ප්‍රංශයේ සක්‍රීය දායකත්වය මෙලෙස තවදුරටත් තහවුරු කර තිබෙනවා.
