මැදපෙරදිග යුදමය තත්ත්වය හමුවේ සංචාරකයන්ගේ සහ විදේශ ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව සහ සුභසාධන වෙනුවෙන් මේ වන විට ක්‍රියාත්මක වැඩපිළිවෙළ සහ ඉදිරි පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සහ මෙරටට පැමිණ සිටින සංචාරකයන් මුහුණ දී සිටින ගැටලු විසඳීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වැඩසටහන් පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය.
විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සහ සංචාරකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක හදිසි සේවා තානාපති කාර්යාල හරහා සක්‍රීය කර තිබෙන බවත්, ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් මෙහිදී සඳහන් කෙරිණි.
දැනට වාර්තා වී තිබෙන තොරතුරු අනුව අදාළ රටවල වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බරපතළ හානි වාර්තා වී නොමැති බවත්, තානාපති කාර්යාලවලින් සහාය ඉල්ලා ඇති අය වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට අවශ්‍ය ප්‍රතිපාදන අදාළ තානාපති කාර්යාල වෙත මේ වන විටත් යොමු කර තිබෙන බවත් සඳහන් කෙරිණි.
මෙරට රැඳී සිටින සංචාරකයන්ට අවශ්‍ය සහාය ලබා දීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් 1912 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබෙන අතර, විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටලු ඉදිරිපත් කිරීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් 1989 ක්ෂණික ඇමතුම් අංකය හඳුන්වා දී තිබේ. මෙම ක්ෂණික දුරකථන අංක වෙත ලැබෙන සියලු තොරතුරු නිරන්තරයෙන් යාවත්කාලීන කෙරෙන බවත්, විශේෂ ගුවන් යානා පහසුකම් පිළිබඳ කිසිදු ඉල්ලීමක් මෙතෙක් ඉදිරිපත්ව නොමැති බවත් මෙහිදී සඳහන් විය.
