මැදපෙරදිග යුධ ගින්නේ නවතම තත්ත්වය මෙතනින්

ඉරානය ඉලක්ක කරගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාර හමුවේ මැදපෙරදිග කලාපය දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා. ගතවූ දින පහේ එල්ල වූ ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 1,000 ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ යුධ බලතල සීමා කිරීමට ඇමරිකානු සෙනෙට් මණ්ඩලය ගත් උත්සාහය ද අසාර්ථක වී තිබෙනවා.

ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා ඉරානයට එල්ල කරන ප්‍රහාර දැඩි කර තිබෙනවා. ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන්නේ ප්‍රහාරවලින් දහසකට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. ඉරාන යුධ නෞකාවක් ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර මුහුදේදී විනාශ කිරීමට ඇමරිකානු සබ්මැරීනයක් සමත් වූ බව අමෙරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් පවසනවා. තවත් ඉරාන යුධ නැවකට ඔමාන් මුහුදේදී එක්සත් ජනපද නාවික හමුදාව පහර දී තිබෙනවා. ඉරාන නාවික හමුදාව සතු IRIS Shirazi නම් නෞකාව මෙලෙස ප්‍රහාරයට ලක් වූ බවයි පෙන්ටගනය තහවුරු කර ඇත්තේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය සතු වඩාත් දියුණු කැටමරන් (Catamaran) වර්ගයේ යුද නෞකාවක් වන මෙය, සතුරු ගුවන් යානා නාශක මිසයිල පද්ධතිවලින් සමන්විත වූවක්.

මේ අතර ඊශ්‍රායලයේ F-35I “Adir”  ප්‍රහාරක යානයක් ටෙහෙරාන් අහසේදී ඉරාන Yak-130 වර්ගයේ යානයක් බිම හෙළා ඇති බව ඊශ්‍රායල ආරක්ෂක අංශ තහවුරු කරනවා.            

ලොව පස්වන පරම්පරාවේ ස්ටෙල්ත් (Stealth) ප්‍රහාරක යානයක් මිනිසුන් සහිත සතුරු ගුවන් යානයක් බිම හෙළූ ප්‍රථම අවස්ථාව මෙය ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.  ඊශ්‍රායලය ඉරානය තුළ සිදුකරන දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් අතරතුර මෙම ගුවන් සටන සිදුව තිබෙනවා. රුසියානු තාක්ෂණයෙන් නිපදවූ ඉරාන යානය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි වාර්තා වන්නේ. ප්‍රහාරයේදී ඊශ්‍රායල F-35I යානයට හානි නොවූ බව ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කරනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එරෙහිව ගෙන යන යුධ ක්‍රියාමාර්ග සීමා කිරීම සඳහා ඉදිරිපත් වූ යෝජනාව සෙනෙට් මණ්ඩලයේදී පරාජය වී තිබෙනවා. සෙනෙට් මණ්ඩලයේ බහුතරයක් ජනාධිපතිවරයාගේ යුද මෙහෙයුම් අනුමත කරමින් ඡන්දය ප්‍රකාශ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

කුර්දි බලකායන් ඉරානයට ඇතුළු වන බවට පැතිර යන වාර්තා ඉරානයේ තස්නිම් (Tasnim) පුවත් ඒජන්සිය සහ කුර්දි දේශපාලන පක්ෂ නායකයින් ප්‍රතික්ෂේප කරනවා. ඔවුන් පවසන්නේ එවැනි කිසිදු පාබල හමුදා මෙහෙයුමක් දේශසීමාව හරහා සිදු නොවන බවයි. ඉරාන-ඉරාක දේශසීමාව ආසන්නයේ “ත්‍රස්තවාදී කල්ලි” සැරිසරන බවට තොරතුරු ලැබී ඇති බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසන්නේ.

ඉරානයේ මීළඟ නායකත්වය සම්බන්ධයෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. ඔහු පවසන්නේ අයතුල්ලා කාමේනිගෙන් පසුව ඉරානයේ පාලනය වෙනිසියුලානු මාදිලියේ රජයක් මෙන් විය යුතු බවයි.  රේසා පහ්ලවි ඉරානයේ මීළඟ නායකත්වයට පත්කිරීමේ විකල්පය ඔහු ප්‍රතික්ෂේප කරනවා. ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කාමේනිගේ  රාජ්‍ය අවමංගල්‍ය උත්සවය කල් දමා ඇති බවයි ඉරාන රජයේ මාධ්‍ය වාර්තා කරන්නේ.

දින තුනක් පැවැත්වීමට නියමිතව තිබූ මෙම අවමංගල්‍ය උත්සවයට අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ වන තෙක් එය කල් තබන බව සංවිධායකයන් පවසනවා. මේ අතර, උත්සවය පවත්වන නව දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති බව සඳහන්.

ඉරාන යුද්ධය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතිනවා. සෞදි අරාබිය ද එරට දේශසීමාව ආසන්නයට පැමිණි මිසයිල තුනක් විනාශ කළ බව සඳහන්. ලෙබනනයේ බීරූට් අගනුවරට ද ඊශ්‍රායලය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරන අතර, ඉරානය පවසන්නේ තමන්ට එල්ල වන සතුරු ප්‍රහාර අවසන් වන තෙක් හමුදාමය ප්‍රතිචාර දැක්වීම නතර නොකරන බවයි.  ඊශ්‍රායල ප්‍රහාර හමුවේ දකුණු ලෙබනනයේ 83,000 කට අධික පිරිසක් අවතැන්ව ඇති බව ලෙබනන සමාජ කටයුතු අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කරනවා. දරුණු ගුවන් ප්‍රහාර හේතුවෙන් දහස් සංඛ්‍යාත පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා පළා යමින් සිටිනවා. අවතැන් වූවන්ට අවශ්‍ය සහන සේවා සැපයීමේදී රජය දැඩි අභියෝගයකට මුහුණ දී සිටින බවයි වාර්තා වන්නේ. පවතින යුදමය වාතාවරණය හමුවේ ලෙබනනයේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බව  විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.

එක්සත් ජනපද පෙන්ටගන් ප්‍රධානී ජෙනරාල් ඩෑන් කේන් මාධ්‍ය හමුවකදී ඉරානයේ ප්‍රහාරක ශක්තිය සම්බන්ධව අදහස් ප්‍රකාශ කර තිබෙනවා. සටනේ පළමු දිනයේ සිට මේ දක්වා ඉරානයේ බැලස්ටික් මිසයිල වෙඩි තැබීම් 86% කින් පහත වැටී ඇති බවත්,පසුගිය පැය 24 තුළ පමණක් 23% ක අඩුවීමක් දක්නට ලැබෙන බවත් ඔහු පවසනවා. ඉරානයේ ප්‍රහාරක ඩ්‍රෝන ප්‍රහාරයන් ආරම්භක දින සිට 73% කින් පහත වැටී ඇතී බව සඳහන්.අමෙරිකානු හමුදාව ඉරාන අභ්‍යන්තරයට පුළුල් ප්‍රහාර එල්ල කරන බවටද ඔහු මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබෙනවා.