“දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට උරදුන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයින් අගයයි

“දිට්වා” නිසා අඩපණ වූ කර්මාන්ත නඟා සිටුවීමට උරදුන් කර්මාන්ත ක්ෂේත්‍රයේ දැවැන්තයින් අගයයි

2025 නොවැම්බර් මස අගභාගයේදී ශ්‍රි ලංකාවට බලපෑ ‘දිට්වා’ (Ditwah) සුළි කුණාටුව හේතුවෙන් මෙරට නිෂ්පාදන අංශයට සිදුවූ දැඩි ආර්ථික බලපෑමෙන් ඔවුන් මුදාගැනීම සඳහා කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) එක්ව ආරම්භ කරන ලද කර්මාන්ත පුනර්ජීවන අනුග්‍රාහක වැඩසටහනේ (Industry Recovery Foster Program – IRFP) පළමු අදියර කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) දින සාර්ථකව නිමා කෙරුණා.

රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය යටතේ 2025 දෙසැම්බර් මස ආරම්භ කළ IRFP වැඩසටහන යටතේ, පීඩාවට පත් කර්මාන්ත 43ක් සඳහා සහාය වීමට මෙරට ප්‍රමුඛ පෙළේ ආයතන කිහිපයක්ම අත්වැල් බැදගත් අතර මෙවැනි ආපදා අවස්ථාවක පුද්ගලික අංශය වශයෙන් සහයෝගය ලබා දීම පිළිබඳ ව කර්මාන්ත අමාත්‍යාංශය විසින් ඔවුන්ව ඇගයීමකටද ලක් කිරීම විශේෂත්වයක්.

තවද, දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අපදාවට පත් කර්මාන්ත පිළිබඳ දත්ත ගබඩාව සහ එම දත්ත රැස් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දෙමින් කර්මාන්ත ආපදා සහාය මධ්‍යස්ථානය (IDSC) පිහිටුවා ගැනීමට තම ස්වේච්ඡා සාහාය ලබාදුන් තිළිණ කුරුකුලසූරිය මහතා (Director / Head of Digital Solutions – Cloud Syntex (Pvt) Ltd, රංග දයාවංශ මහතා (Founder, Floodsupport.org), සංජය ඇල්විටිගල මහතා (Founder / CEO – eLearning.lk (Pvt) Ltd, ශඝීවන් සචින්තනාදන් මහතා යන අය ද ඇගයීමට ලක්කළා.

මූලික තක්සේරුවලට අනුව, මෙම ආපදාව හේතුවෙන් නිෂ්පාදන අංශයට සිදුව ඇති සමස්ත ආර්ථික හානිය රුපියල් බිලියන 33.96ක් පමණ වෙයි

මෙයින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ අමුද්‍රව්‍ය සහ තොග සඳහා වන අතර (රුපියල් බිලියන 10.2), ආදායම් අහිමිවීම් සහ යන්ත්‍රෝපකරණ හානිය ද සැලකිය යුතු මට්ටමක පවතී.

කර්මාන්තශාලා ජලයෙන් යටවීම හේතුවෙන් යන්ත්‍රෝපකරණ අක්‍රීය වීම, නිෂ්පාදන ක්‍රියාවලිය ඇනහිටීම සහ සැපයුම් දාම බිඳ වැටීම මෙහිදී ප්‍රධාන ගැටලු ලෙස හඳුනාගෙන ඇත.

කෙසේ වෙතත් ඉදිරියේදී මෙම වැඩසටහනට අමතරව ඉහත හඳුනාගත් කර්මාන්ත සංවර්ධන කිරීමට අවශ්‍ය වැඩසටහන IDFP Industry Development Foster Program ද දියත් කිරීමට නියමිතයි.