ඉරානය ගල්ෆ් කලාපීය රටවලට සහ ජෝර්දානයට සිදුකරන ප්‍රහාර වහා නතර කළ යුතු බවට, එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද යෝජනාවක් සම්මත වී තිබෙනවා.
බහරේනය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති එම යෝජනාවලියට, 15 දෙනෙකුගෙන් සමන්විත ආරක්‍ෂක මණ්ඩලයේ ඡන්ද 13 ක් ලැබුණු අතර ඊට විරුද්ධව කිසිවෙකුත් ඡන්දය ප්‍රකාශ කර නැහැ.
එක්සත් ජාතීන්ගේ ආරක්‍ෂක මණ්ඩලයේ නිශේධ බලය සහිත රුසියාව සහ චීනය, ඊයේ ඉදිරිපත් කෙරුණු එම යෝජනාවලියට පක්‍ෂව හෝ විපක්‍ෂව ඡන්දය දීමෙන් වැළකී සිටියා.
චීනය නියෝජනය කළ තානාපති ශංග් ජුන් එහිදී කියා සිටියේ, මැදපෙරදිග කලාපයේ සාමය උදා කිරීම සඳහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ප්‍රහාර නතර කළ යුතු බවයි.
එක්සත් ජාතීන්ගේ රුසියානු තානාපති වැසිලි නෙබෙන්සියා ප්‍රකාශ කළේ, මෙම යෝජනාවලිය තුළ බලවත් අසමතුලිතතාවක් පවතින බවයි.
කෙසේ වුවද බොහෝ දෙනෙකු අපේක්‍ෂා කළ පරිදි චීනය හෝ රුසියාව සිය නිශේධ බලය යොදාගනිමින් යෝජනාවලිය පරාජය කිරීමට උත්සාහ කර නැහැ.
විදෙස් වාර්තාවල දැක්වෙන්නේ බහරේන් රාජ්‍යය මෙම යෝජනාවලිය ඉදිරිපත් කර ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් 135 කගේ පමණ සහයෝගය ලබාගනිමින් බවයි.
ඉරානය එල්ල කළ ප්‍රහාරවලින් කලාපයේ යටිතල පහසුකම්වලට හානි සිදුවීම හා සිවිල් වැසියන් ඝාතනය වීම දැඩි ලෙස හෙළාදකින බව යෝජනාවලියේ සඳහන්.
එමෙන්ම එය ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝණය වීමක් ලෙසත් යෝජනාවලියේ දැක්වෙනවා.
යෝජනා සම්මත විමෙන් පසු අදහස් දැක්වූ ඉරානයේ එක්සත් ජාතීන්ගේ නියෝජිත තානාපති අමීර් සයීද් ඉරවානි කියා සිටියේ, මෙය ආරක්‍ෂක මණ්ඩලයේ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රබල පසුබෑමක් වනු ඇති බවයි.
එමගින් ඇති වූ කළු පැල්ලම, කල් පවතිනු ඇතැයි ද ඔහු කියා සිටියා.
