අමෙරිකානු ගුවන් බලයේ’කොඳු නාරටිය’ බිඳ වැටෙයි

මැදපෙරදිග කලාපය දැඩි යුදමය උණුසුමක පවතින පසුබිමක, ඇමරිකානු ගුවන් හමුදාවට අයත් ප්‍රබලතම සහ ඉතා වැදගත් ගුවන් යානයක් ඉරාකයේදී අනතුරට පත්ව තිබෙනවා.

අමෙරිකානු ගුවන් බලයේ කොඳු නාරටිය ලෙස සැලකෙන KC-135 Stratotanker වර්ගයේ යානයක් මෙලෙස අනතුරට පත්ව ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

ලොව ඕනෑම ස්ථානයක පවතින ඉලක්ක වෙත පහරදීමට ඇමරිකානු ප්‍රහාරක යානාවලට ශක්තිය සපයන, අහසේ පාවෙන ඉන්ධන පිරවුම්හලක් ලෙස හැඳින්වෙන මෙම KC-135 යානය, ඉරාකයේදී මෙම අනපේක්ෂිත අනතුරට මුහුණ දී තිබෙනවා.

​වාර්තා වන අන්දමට මෙම මෙහෙයුම සඳහා යානා දෙකක් එක්ව ඇති අතර, ඉන් එක් යානයක් අනතුරට පත්වන විට අනෙක් යානය ආරක්ෂිතව ඊශ්‍රායලය බලා පියාසර කර ඇත.

ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ මැදපෙරදිග කලාපයේ පවතින වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ මෙය ඇමරිකාවට එල්ල වූ දරුණු යුදමය සහ මූල්‍යමය බලපෑමක් බවයි.

කෙසේ වෙතත්, මෙම යානා එවැනි අනතුරුදායක කලාපයක පියාසර කිරීමට හේතුව මෙතෙක් නිල වශයෙන් අනාවරණය වී නැහැ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක අංශ මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.