Clean Sri Lanka වැඩසටහනට සමගාමීව Dream Destination වැඩසටහන යටතේ ක්‍රියාත්මක මරදාන දුම්රිය ස්ථානයේ පළමු අදියරේ නවීකරණ කටයුතු අවසන් කර මගී ජනතාවට එම පහසුකම් සලසා දීම අද (25) පෙරවරුවේ සිදු වුණා.
දුම්රිය මඟී යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ අරමුණින් මරදාන දුම්රිය ස්ථානයේ පෞරානිකත්වයට හානියක් නොවන පරිදි තෝරාගත් කොටස් කිහිපයක් පමණක් මෙලෙස නවීකරණය කර තිබෙන අතර ප්‍රධාන ගොඩනැගිල්ල අලුත්වැඩියාව, වේදිකා අංක 05 සහ 06 හි සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම, සහ පරිසර අලංකරණ කටයුතු මේ යටතේ සිදු කර තිබේ.
මේ සඳහා රුපියල් මිලියන 35ක් වැය කර තිබෙන අතර අක්බාර් සමාගම ඊට මූල්‍ය අනුග්‍රහය ලබා දී ඇත. මාස හයක කාලයක් තුළ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ NIO engineering ආයතනයේ උපදේශන සේවාව අනුව මෙම ප්‍රතිසංස්කරණ කටයුතු විධිමත්ව සිදු කර තිබේ.
ශ්‍රී ලංකාවේ පිහිටි ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් දුම්රිය ස්ථානයක් වන මරදාන දුම්රිය ස්ථානය කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටි දුම්රිය ස්ථාන අතුරින් දෙවෙනි විශාලතම දුම්රිය ස්ථානයයි. දේශීය හා විදේශීය මගී ජනතාව දිවයිනේ සෑම පළාතකටම ගමනාගමන පහසුකම් සපයා ගැනීමට පැමිණෙන මරදාන දුම්රිය ස්ථානය අදියර කිහිපයක් යටතේ නවීකරණය කිරීමට සැලසුම් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ පසුගිය කාලය තුළ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය හමුවේ වුවද ප්‍රමාදයකින් තොරව මාස හයක් වැනි කාලයක් තුළ ප්‍රධාන ගොඩනැගිල්ල ඇතුළු පරිශ්‍රය තුළ තිරසර නවීකරණයක් සිදුකර තිබෙන බවයි.
මෙම පොදු පහසුකම් නිසි පරිදි පරිහරණය කිරීම, සුරක්ෂිතව රැකබලා ගැනීම, මගී ජනතාවගේ මෙන්ම දුම්රිය දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලයේද ප්රමුඛ වගකීමක් ලෙස සලකා කටයුතු කිරීම ඉතා වැදගත් බවත්, රටේ යහපත ප්‍රාර්ථනා කරන සියලු ප්‍රජාව මෙවැනි ජාතික සම්පත් රැකගැනීමට එක්විය යුතු බවත්, පොදු දේපළවලට සිදුකරන නාස්තියට හා හානියට එරෙහිව සමාජය පෙළගැසිය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
පසුගියදා පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ නවීකරණයෙන් පසු ඊට සිදුකර තිබූ හානියට දැඩි සමාජ විරෝධයක් පැමිණි බව පෙන්වා දුන් අමාත්‍යවරයා එය රජයට විශාල සමාජ ශක්තියක් වු බවත්, එබැවින් මෙම මහජන දේපළ සහ පෞරාණික උරුම සුරක්ෂිත කිරීම පුරවැසි වගකීමක් බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.



