ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ වැඩමුළුවක්

ආයතනික ආචාරධර්ම සංග්‍රහය සකස් කිරීම පිළිබඳ එක්දින වැඩමුළුවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

දෙවන අදියර යටතේ රාජ්‍ය ආයතනවල පිහිටුවන ලද අභ්‍යන්තර කටයුතු ඒකක 244ක් වෙනුවෙන් මෙම වැඩමුළුව සංවිධානය කර තිබෙනවා.

සුපිළිපන්භාවය සංවර්ධනය කිරීමේ කාර්යාංශයේ ප්‍රධානී/ජනාධිපති අතිරේක ලේකම් චන්දිමා වික්‍රමසිංහ මෙනෙවියගේ සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. ප්‍රසන්න චන්දිත් මහතාගේ සම්පත්දායකත්වයෙන් පැවති මෙම වැඩමුළුවට රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් අමාත්‍යාංශ, පළාත් දෙපාර්තමේන්තුවල අභ්‍යන්තර කටයුතු ඒකක ප්‍රධානීහු සහ සුපිළිපන් නිලධාරීහු සහභාගි වූහ.

මීට අමතරව උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත් අමාත්‍යාංශ සහ පළාත් දෙපාර්තමේන්තුවල නිලධාරීහුද මාර්ගගතව මෙම වැඩමුළුවට එක්ව සිටියහ.