දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහන අද ජනපති ප්‍රධානත්වයෙන්

දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ වනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී.

මේ වසර සඳහා ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000 ක්.

“පො‍හොසත් රටක් ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “ගෞරවනීය ජීවිතයක් සුරක්ෂිත රටක්” යන දැක්ම මත පදනම්වයි වැඩසටහන ක්‍රියාත්මක කෙරෙ‍න්නේ.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සහ පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව එය සංවිධාන කරනවා.

ආයතනික රැකවරණයෙන් පසු සමාජ ගතවූවන් අනාරක්ෂිත සහ අවදානම් සහිත තත්වයේ පසුවන බවට හදුනාගත් දරුවන් සඳහා දිවියට සවියක් නිවාස ආධාර වැඩසටහන ක්‍රියාවට නැංවෙනවා.

ලස්සන ජීවිතයකට සුභ අඩිතාලමක් යන්න එහි තේමාවයි.

බස්නාහිර පළාත් ප්‍රතිලාභීන්ට මෙහිදී නිවාස ආධාර පිරිනැමෙනවා. එක් ප්‍රතිලාභියෙකුට රුපියල් ලක්ෂ 20 ක මුදලක් හිමිවනවා. සුදුසුකම් ලැබූ අපේක්ෂකයින් සංඛ්‍යාව 834 ක්.

ඉන් 737 දෙනෙකු සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ප්‍රතිපාදන නිදහස් කර ඇති බවයි කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පවසන්නේ.