ඒ9 මාර්ගයේ මාරක අනතුරකින් ද‍ෙදෙනෙක් මරුට

මැදවච්චිය – යාපනය ඒ 09 මාර්ගයේ අද (17) අලුයම බූ ඔය දුම්රිය ස්ථානයට ආසන්නව සිදු වූ මාරක රිය අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ නොරොච්චෝලි පදිංචි රුමේෂ් සහ ඇන්තනී නැමැති 35 හැවිරිදි හා 45 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙක්.

මැදවච්චිය දෙස සිට වව්නියාව දෙසට ගමන්ගත් ලොරි රථයක් ධීවර ආම්පන්න රැගෙන පුද්ගලයින් 08 දෙනෙකු සමග නොරොච්චෝලි සිට යාපනය දක්වා ධීවර කටයුතු සඳහා ගමන් ගෙන ඇත.

එම මාර්ගයේ අලුයම රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ලොරි රථය නවත්වා බලපත්‍ර පරික්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ එම දිසාවටම පොහොර පැටවූ ටැංකි ලොරියක්ද රියදුරු සහ රිය සහයක සමඟ පසු පසින් ගමන් ගෙන ඇති අතර එක් වරම එම ටැංකි ලොරිය මෙම සුසිකි වර්ගයේ තට්ටු ලොරියේ ගැටී පෙරළි ගොස් මෙම මාරක අනතුර සිදුව ඇත.

අනතුරින් ලොරි රථ දෙකේම රියදුරන්ට කිසිඳු හානියක් සිදුව නොමැති අතර පසුපස ගමන්ගත් පිරිස සිරවී සිට ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ නිලධාරින් පැමිණ මුදවා ගැනීම් කටයුතු සිදුකර තිබෙනවා.

ඒ අවස්ථාවේදීම දෙදෙනෙකු මියගොස් ඇත.

මෙම අනතුර ටැංකි රියදුරුට නින්දයාම හේතුවෙන් සිදුව ඇති බවයි පොලිසිය සැක කරන්නේ.

ටැංකි ලොරි රථයේ රියදුරු පූනෑව පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පූනෑව පොලිසිය විසින් සිදු කරනවා.