හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 2023 වර්ෂයේ මාර්තු මාසයේ සිදු වූ නායයෑම හේතුවෙන් සිය නිවාස අහිමි වූ පවුල් සඳහා පූනාගල ප්‍රදේශයේ කබරගල කොටසේ ඉදිකෙරෙන නව නිවාස ව්‍යාපෘතියේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් සුනිල් ගලගම මහතාගේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විජයකීර්ති මහතාගේ ප්‍රධානත්වයෙන් කබරගල නිවාස ව්‍යාපෘති භූමියේදී පැවැත්වුණා.
2023 වර්ෂයේ සිදු වූ නායයෑමෙන් පූනාගල – කබරගල ප්‍රදේශයේ පවුල් 50ක් නිවාස අහිමිව දැඩි අපහසුතාවට පත්වූ අතර, එම පවුල් සඳහා ස්ථිර සහ ආරක්ෂිත නිවාස ලබාදීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
මෙම ව්‍යාපෘතිය වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ පූර්ණ මඟපෙන්වීම සහ අධීක්ෂණය යටතේ, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ප්‍රතිපාදන මඟින් ක්‍රියාත්මක වන ආපදා නිවාස ඉදිකිරීමේ වැඩසටහනට අයත් ව්‍යාපෘතියකි.
2025 මාර්තු 15 වැනි දින ආරම්භ කරන ලද මෙම නිවාස ව්‍යාපෘතියේ සියලු නිවාස ඉදිකිරීම් ශ්‍රී ලංකා යුද හමුදා සමාජිකයන් විසින් සිදු කරන අතර, නිවාස ඉදිකිරිම් කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අවසන් කර ඇති අතර, යටිතල පහසුකම් සංවර්ධන කටයුතු ද අවසන් අදියරට ළඟා වී තිබෙනවා.
ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 28ක මුදලක් සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා අතිරේකව රුපියල් ලක්ෂ 4ක මුදලක් වෙන්කර ඇති අතර, ප්‍රතිලාභී පවුල් සඳහා සුරක්ෂිත, සුවපහසු සහ තිරසාර ජීවන පරිසරයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ප්‍රගති සමාලෝචන සාකච්ඡාවේදී නිවාස ව්‍යාපෘතියේ වත්මන් තත්ත්වය, අභ්‍යන්තර මාර්ග ඉදිකිරීම්, විදුලි සහ ජල පහසුකම් සැපයීමේ කටයුතු, පැති බැමි සහ ජල බැසයාමේ කාණු පද්ධති ඉදිකිරීම, පරිසර සංරක්ෂණ කටයුතු සහ ප්‍රතිලාභී පවුල් නව පදිංචිය සඳහා යොමු කිරීමේ සැලසුම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.
