බිහිසුණු බස් අනතුරක් – රෝගීන් බේරාගන්න කතානායකත් මැදිහත් වෙයි

දඹුල්ල මාතලේ ප්‍රධාන මාර්ගයේ නාඋල නාලන්ද රෝහල ආසන්නයේ අද (26) දින පෙරවරුවේ බස් රථ තුනක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පුද්ගලයන් විසි දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බනයි නාඋල පොලීසිය පවසන්නේ.

තුවාල කරුවන් අතරින් කුඩා ළමුන් දෙදෙනෙකු, කාන්තාවන් අට දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් දස දෙනෙකු ඇතුලත්.

මහනුවර සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් මහනුවර සිට අනුරාධපුරය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් සහ නොච්චියාගම සිට මහනුවර දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අනතුරට ලක්ව ඇතැයි පොලිසිය පැවසුවා.

එක් බස් රථයක් තවත් බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී බස් රථය පාලනය කර ගැනීමට නොහැකිව අනෙක් බස් රථ දෙකේ ගැටී අනතුර සිදුවී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී වෙනත් ගමනක් යන අතරතුර පාර්ලිමේන්තුවේ කතානායකවරයාද මෙම බස් රථවල සිරවී සිටි තුවාලකරුවන් බේරාගෙන රෝහල්ගත කිරීම සඳහා යුහුසුළුව කටයුතු කළ බව පොලිසිය සඳහන් කළේය.

අනතුරට පත් තුවාලකරුවන් අතර ලංගම බස් රථයේ කොන්දොස්තරවරයාද වන බව රෝහල් සේවකයෝ පැවසූ අතර, ඔහුගේ මුදල් සහිත බෑගය අතුරුදන්වී ඇතැයි එම කොන්දොස්තරවරයා රෝහල් සේවකයන්ට දැනුම් දී ඇති බවද රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.