ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම්වල සුවිශේෂී ප්‍රගතියක්

2026 වසරේ ආර්ථික ගමන සහ අනාගත ඉලක්ක පිළිබඳ කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස්,

ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම සහ ස්ථාවරත්වය පිළිබඳ ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් (S&P) ආයතනය විසින් 2026 ජූලි මාසයේදී සිදු කරන ලද නවතම ශ්‍රේණිගත කිරීමට අනුව, ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම පෙර තිබූ මට්ටමේම ස්ථාවරව පවත්වාගෙන යාමට රජයට හැකි වී තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම සහ මැදපෙරදිග යුදමය තත්ත්වය වැනි අභ්‍යන්තර සහ බාහිර කම්පන හමුවේ වුවද, ආර්ථික ගමන් මාර්ගය වෙනස් නොකර ඉදිරියට ගෙන යාම නිසා මෙම ස්ථාවරත්වය රැක ගැනීමට හැකි වූ බව විශේෂයෙන් සඳහන් කළයුතුයි. එය විශේෂ ජයග්‍රහණයක් ලෙස අපි දකිනවා.

ඒ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය දිනා ගැනීම සඳහා වැදගත් වන හුවමාරු සහ පරිවර්තන (Transfer and Convertibility – T&C) ශ්‍රේණිගත කිරීම සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබෙනවා. මෙහිදී සිදු වන්නේ ආයෝජකයෙකුට තමන් උපයන ලාභය නැවත තම රටට රැගෙන යාමට ඇති හැකියාව සහ ඔවුන් ලබා ගත් ණය සහ පොලී ගෙවීමට දේශීය මුදල්, විදේශීය මුදල් බවට පරිවර්තනය කර ගැනීමේ හැකියාව සලකා බැලීමයි.

2022 වසරේදී ඉතා අවදානම් සහගත CCC මට්ටමක තිබූ මෙම ශ්‍රේණිගත කිරීම, 2025 දී CCC+ දක්වාත්, 2026 වන විට B- (B minus) දක්වාත් දියුණු වී තිබෙනවා. විශේෂයෙන් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති සහ දේශපාලන ස්ථාවරත්වය නිසා එම තත්ත්වය වර්ධනය වූ බව කිවයුතුයි. දැන් ස්ථාවරත්වයෙන් එළියට ගොස් විශේෂයෙන් විදේශ විනිමයේ ද්‍රවශීලිත්වය, සංචිත ගොඩනගා ගැනීම කියන කරුණු ඊට ඉවහල් වී තිබෙනවා. ඒ නිසා B minus කියන තත්ත්වය විශේෂයෙන් ඇගයීමට ලක් කළ යුතුයි.

මෙම විදේශ සංචිත ගොඩනගා ගනු ලැබුවේ ආනයන සීමා කිරීමෙන් හෝ ආර්ථිකය හකුළුවා දැමීමෙන් නොවෙයි. එම සියලු ආර්ථික කටයුතු ඒ ආකාරයෙන්ම ගලා යාමට ඉඩ හරිමින් මහ බැංකුවේ උපායමාර්ගික මැදිහත්වීම මගින් මූල්‍ය ස්ථාවරත්වය පවත්වා ගනිමින් සංචිත ඉහළ නංවා තිබෙනවා. මෙය ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳ අවබෝධය, අත්දැකීම් සහ විශේඥ දැනුම තිබෙන ජාත්‍යන්තර ආයතනයි. එසේ නොමැතිව සමාජ මාධ්‍යවල අය කියන ඒවා නොවෙයි. ඒ නිසා මෙය විශේෂයෙන් සැලකිල්ලට භාජනය කළයුතුයි. මෙම B minus කියන තත්ත්වය ලබා දීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය විසින් ලංකාව පිළිබඳව ඉදිරිපත් කර තිබු ණය පාරදෘශ්‍යභාව සහ ණය ගැනුම්කරුවන් සමග තිබෙන සම්බන්ධය හේතු වෙනවා.
අතීත අත්දැකීම අනුව අපේ රටේ ණය පාරදෘශ්‍යභාවය මොනවගේද කියලා දන්නේ නැහැ. සමහර විගණන වාර්තවල පවා තිබුණා ගත්තු ණය කොහෙද වාර්තා වෙන්නේ කියලා දන්නේ නැති තත්ත්වයක්. ණය පාරදෘශ්‍යභාවය නොතිබුණොත් ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් මේ වාර්තාවෙන් පෙන්නුම් කරනවා 2025 වසරට සාපේක්ෂව ආයෝජකයන් සමග තිබෙන සම්බන්ධතාව ගොඩනැගීම සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේදී ශ්‍රී ලංකාව ඉතා විශාල කැපී පෙනෙන ප්‍රගතියක් අත්පත් කරගෙන තිබෙන බව.

ඒ අනුව ලබා දෙන සමස්ත ලකුණු 50න් ලකුණු 43.67ක් ලබා ගැනීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. එය 2025 වසරට සාපේක්ෂව 6.3ක වර්ධනයක්. 2025 වසරේදී තිබුණේ 37.33යි. එසේ නම් 2026 වසරේදී ඇගයීමට ලක්වන රටවල් අතරින් අපි 4 වන ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව ආයෝජක විශ්වාසය සහ ණය පාරදෘශ්‍යභාවය වර්ධනය කර ගැනීමේ 4වන ස්ථානය අත්පත් කරගෙන තිබීම, හුවමාරු සහ පරිවර්තන ශ්‍රේණිගත කිරීමේ B minus කියන තත්ත්වය වැඩිකර ගැනීමට ඉවහල් වූ බව අපි හිතනවා.

සමස්තයක් වශයෙන් ගත්විට අපිට සාරාංශගත කර කිව හැකියි මේ ආණ්ඩුව අනුගමනය කළ ක්‍රියමාර්ගවලදී ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක් මිට හේතු වුණා කියලා. විවිධ බාධක මධ්‍යයේ වුවද නිවැරදි ප්‍රතිපත්ති පවත්වාගෙන යාම මගින් අපිට පුළුවන් වුණා කැපී පෙනෙන ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට. 2026 පළමු කාර්තුව තුළ 5.1% ක ආර්ථික වර්ධනයක් අත්පත් කර ගැනීමට හැකි වුණා. මෙය ආර්ථික වර්ධනයේදී ඉතාමත් වැදගත්.

ඒ වගේම රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට සහ රාජ්‍ය ආයෝජන සිදු කිරීමට ආදායම් එක්කරගත යුතුයි. එම ආදායම් සැලසුම් කිරීම සහ සැලැසුම් කළ අන්දමට ආදායම් එකතු කරනවද කියන එකත් මේ මූල්‍ය විනයේ කැපී පෙනෙන ලක්ෂණයක්. එම ආදායම් එකතු කර ගැනීමේ කාර්යක්ෂමතාව ආණ්ඩුව ලබා ගත් දින සිට අද දක්වා දිනපතා අපි අධීක්ෂණය කරමින් යනවා. අපේ ඉලක්ක නිසි ලෙස සම්පූර්ණ කරගෙන තිබෙනවා.

උදාහරණයක් ලෙස ගත් විට 2026 ජූලි මාසය වන විට, වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කවලින් 63.5% ක් සපුරා ගැනීමට රජයට හැකි වී තිබෙනවා. ඒ අනුව 2026 වසරේදී අපි සැලසුම් කරන ලද ආදායම් ඉලක්ක පහසුවෙන් ළගා කරගත හැකි අතරම එය අභිබවා යා හැකියි. එයින් පැහැදිලි වන්නේ සැලසුම්කරණය, මූල්‍ය විනය, ආදායම් එකතු කිරීම වර්ධනය කරන ගමන්ම අපි සහතිකයක් ලබා දෙනවා ආණ්ඩුව අයවැයේදී ඉදිරිපත් කළ මෙම වියදම් මහජනතාව වෙනුවෙන් වැය කරනවා කියලා. රාජ්‍ය පරිපාලනය සහ මහජන සේවා සඳහා වියදම් ප්‍රමාණයක් අපි අයවැයේදී ඉදිරිපත් කර තිබෙනවා. එම වියදම් කිසිදු ගැටලුවකින් තොරව දැරීමට අවශ්‍ය මුදල් එකතු කර ගැනීමේ හැකියාව අපිට තිබෙනවා.

ඒ වගේම අයවැයෙන් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කළ මුදල් ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. එම මුදල් වියදම් කිරීමේ යාන්ත්‍රණය තුළ යම් ගැටලුවක් මතුව තිබෙනවා නම් කාර්යක්ෂමතාව, යම් යම් බාධක හැර මූල්‍ය විනය ඉතා ඉහළින් පෙන්නුම් කිරීම සහ ආදායම් එකතු කර ගැනීමත් මීට දායක වී තිබෙනවා.

ඒ වගේ විදේශීය සංචිත ගොඩනගා ගැනීම ආර්ථිකය හකුළුවන්නේ නැතිව අඛණ්ඩව සිදු කිරීමට අපිට හැකියාව ලැබී තිබෙනවා. ඔබට මතක ඇති මීට මාස කිහිපයකට පෙර රට තුළ උත්සාහයක් දැරුවා විදේශ විනිමය අනුපාතය ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වී ආර්ථිකය බිඳ වැටෙනවා. ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 400-500 දක්වා වැඩි වෙනවා කියලා විශාල බියක් ඇති කළා. ඒ සියල්ල සාවද්‍ය බවට පත් කරමින් මේ ශ්‍රේණිගත කිරීම තුළ අපිට සහතිකයක් ලබා දී තිබෙනවා. සියලු ආර්ථික කටයුතු පවත්වා ගනිමින්, සංචිත ගොඩනගාගෙන තිබෙනවා කියන කාරණයයි මෙයින් පැහැදිලි වන්නේ. එය තමයි ප්‍රධාන හේතු සාධකය බවට පත්ව තිබෙන්නේ. ආයෝජකයන්ගේ විශ්වාසය වැඩිදියුණු කර ගැනීමට එය ඉවහල් වෙනවා.

ඒ සමගම අපි සැලකිල්ලට භාජනය කළයුතු අභියෝග කිහිපයකුත් මේ සමග තිබෙනවා. ආණ්ඩුකරණය, දේශපාලන අභියෝග ඒ සියල්ල අපිට පහසුවෙන් ජයග්‍රහණය කළ හැකියි. ඒ වගේම ව්‍යුහාත්මකව ගැට ගැසී තිබෙන අභියෝග කිහිපයකුත්, බාහිරව පාලන කළ නොහැකි අභියෝග කිහිපයකුත් තිබෙනවා. එහි ප්‍රධාන අභියෝගය වන්නේ අතීතයේදී ඒ ඒ ආණ්ඩු ලබාගත් අපරික්ෂාකාරී සහ අනවශ්‍ය ණය නිසා අපේ භාණ්ඩාගාරයට විශාල ණය පොලී ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබීමයි. 2025 වසරේදී පමණක් රුපියල් බිලියන 2500 කට වඩා පොලී වශයෙන් ගෙවීමට සිදුවීම සංවර්ධන කටයුතුවලට විශාල බාධාවක් වෙනවා.
අපි ක්‍රමිකව මේවට මුහුණ දෙමින් ඉදිරියට යනවා. උපක්‍රමශීලිව මැදිකාලීන ණය ලබා ගැනීමේ ක්‍රමවේදය හරහා මේවන විටත් අපි ප්‍රගතියත් පෙන්නුම් කර තිබෙනවා, ජාත්‍යන්තර ආයතන එය ඇගයීමට ලක් කර තිබෙනවා.

අපි ක්‍රමිකව භාණ්ඩාගාර බැදුම්කර පැත්තට තල්ලු වෙමින්, දිගුකාලීනව ණය ලබා ගැනීමේ භාණ්ඩාගාර බැදුම්කර යම් අඩු ස්ථාවර පොලී අනුපාතයන්ට ලබා ගනිමින් ණය තිරසරභාවය පවත්වා ගැනීමට සමත් ලක්ෂණ සහ සංඥාවන් පෙන්නුම් කර ඇති බවට මේ වාර්තාව තුළ සඳහන් වෙනවා.

ඊළගට තිබෙන බාධකය වන්නේ මේ සමස්ත ණයවල ඇතැම් ණය අරගෙන තිබෙන්නේ ඉතාමත් අසාර්ථක සහ ප්‍රතිඵලදායක නොවන දේවල්වලට. මෙය අභියෝගයක් වන අතර අපි එය කළමනාකරණය කරමින් සිටිනවා.

අනිත් පැත්තෙන් අපිට මුහුණ දීමට සිදු වන ස්වභාවික ව්‍යසනයන්, මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ ඇති වු කම්පනයන් විය හැකියි, මේ සියලු අභියෝගවලට මුහුණ දිය හැකි ඉතා ශක්තිමත්, ඔරොත්තු දිය හැකි ආර්ථිකයක් අවශ්‍යයි. එම තත්ත්වයත් අපි යම් ප්‍රමාණයකට අත්පත් කරගෙන තිබෙනවා. විශේෂයෙන් බලශක්ති වෙළෙඳපොළට ඇති වු බලපෑම, අපි කවුරුත් දන්නවා ලංකාව ප්‍රධාන වශයෙන් මේ ආනයනය කරන ඉන්ධන පරිභෝජනය කරමින් තමයි ප්‍රවාහන ක්ෂේත්‍රය පවත්වාගෙන යන්නේ. අපිට යම් ව්‍යුහාත්මක වෙනස්කම් ඉදිරියේදී කර ගැනීමට සිදු වෙනවා. දැනට යම් අභියෝගයක් තිබෙනවා මේ ඉන්ධන මත යැපීම. ඒ වගේම අපිට ඉන්ධන ගබඩා කිරීමේ පහසුකම් විශාල ප්‍රමාණයක් නැහැ. ඒ පිළිබඳවත් අපි යම් තීන්දු තීරණ ගනිමින් සිටිනවා.

මේ ජයග්‍රහණ අත්පත් කර ගැනීම සඳහා වැදගත් වුණේ නිවැරදි තීන්දු තීරණ සහ ප්‍රතිපත්ති ඒකාග්‍රතාව පවත්වා ගනිමින් දේශපාලන ස්ථාවරත්වය අත්පත් කර ගනිමින් නිවැරදි ලෙස ආණ්ඩුකරණය කිරීමයි කියන කාරණය සඳහන් කළ යුතුයි. ඒ වගේම ආණ්ඩුව මේ කටයුතු ඉදිරියට කරගෙනයාමේදී සියලුදෙනාගේ දායකත්වය ඊට ලැබීමෙන් මේ අත්පත් කරගත් ස්ථාවරත්වය සහ ජයග්‍රහණය අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මහජනතාවට අවශ්‍ය ප්‍රතිලාභ ලබා දීමට අපිට ඉදිරියේදී හැකියාව ලැබෙනවා.