“සිලෝන් ටී විලේජ්” තේ ගම්මාන 500 ව්‍යාපෘතිය වේගවත් කෙරේ

2030 වසර වන විට ශ්‍රී ලංකාවේ නිමි තේ නිෂ්පාදනය කිලෝග්‍රෑම් මිලියන 400 දක්වාත්, තේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 2.5 දක්වාත් ඉහළ නැංවීමේ ජාතික ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා “සිලෝන් ටී විලේජ්” 500 ව්‍යාපෘතිය පූර්ණ මෙහෙයුම් මට්ටමට ගෙන ඒම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

පසුගිය ජූලි 15 වන දින ජාතික මට්ටමින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය විධිමත් ලෙස සංවිධානය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශ පරිශ්‍රයේදීයි.

ඒ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්.

දිවයින පුරා තේ ගම්මාන 500ක් ස්ථාපිත කරමින්, ශ්‍රී ලාංකේය තේ කර්මාන්තයේ ගුණාත්මකභාවය හා ආදායම ඉහළ නැංවීම මෙම වැඩපිළිවෙළෙහි ප්‍රධාන අරමුණයි.

එහිදි පැමිණි සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ, “අප ආරම්භ කළ මෙම ‘සිලෝන් ටී විලේජ්’ ව්‍යාපෘතිය හුදෙක් ආරම්භයකින් පමණක් නොවන බවත්, එය සංවිධානාත්මකව ඉදිරියට ගෙන යන මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු සැලසුම් සකස් කර තිබෙන බවත්ය. ඉලක්ක කරගත් අරමුණ දක්වා මෙම ව්‍යාපෘතිය සාර්ථකව ගෙන යාම සඳහා සෑම තේ ගම්මානයකම තේ තවානක් සහ ආදර්ශ වගාවක් බැගින් ස්ථාපිත කරමින්, ගම මට්ටමින් විධිමත් සමීක්ෂණයක් සිදු කරන බවත්, මෙම තේ ගම්මාන 500 වැඩසටහන බිම් මට්ටමින්ම ශක්තිමත් කිරිමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදි අවධාරණය කළේය.

මෙම සාකච්ඡාවේදි, දැනට දිවයින පුරා ආරම්භ කර ඇති තේ ගම්මාන 144 සඳහා අවශ්‍ය මූල්‍ය, තාක්ෂණික සහ යටිතල පහසුකම් සැලසීම ඇතුළත්ව ප්‍රධාන තීරණ කිහිපයක් මෙහිදී ගනු ලැබීය. ඒ අනුව, සාම්ප්‍රදායික රාමුවෙන් මිදී මෙම ව්‍යාපෘතිය සක්‍රීය මෙහෙයුමක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා මට්ටම් තුනකින් යුත් කමිටු පද්ධතියක් ස්ථාපිත කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඒ අනුව ජාතික මට්ටමින් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයාගේ සහ අදාළ ආයතනවල මූලිකත්වයෙන් ජාතික මෙහෙයුම් කමිටුව ක්‍රියාත්මක වන අතර, ප්‍රාදේශීය මට්ටමින් දිවයිනේ තේ කලාප 8හි ප්‍රාදේශීය කළමනාකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, බිම් මට්ටමේ සමිති සහ රාජ්‍ය නිලධාරීන් එක්ව කටයුතු කරයි. ගම්මාන (සිලෝන් ටී විලේජ්) මට්ටමින් තේ පරීක්ෂකවරයා, කුඩා තේ වතු සමිතියේ ප්‍රධානීන්, ප්‍රජාශක්ති සභාපතිවරයා සහ වැවිලි නියෝජිතයන්ගේ එකමුතුවෙන් සංවිධාන කටයුතු සිදු කෙරේ.

තවද, මෙම ව්‍යාපෘතියේ මූලික අදියර සාර්ථකව පවත්වාගෙන යාම වෙනුවෙන් රුපියල් මිලියන 237ක අතිරේක මුදලක් වෙන් කර ඇති අතර,ඉන් කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් ආරම්භක තේ ගම්මාන 144 හි ආදර්ශ වගාවක් ඇති කිරිම සඳහා රුපියල් මිලියන 68ක්ද, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය මගින් ප්‍රමිතියෙන් යුත් පැළ තවාන් සකස් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 169ක මුදලක් ද එම අමාත්‍යාංශයෙන් වෙන් කිරිමට සැලසුම් කර ඇත.

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති සහ නිලධාරීන්, ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් සහ නිලධාරීන්, ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ සභාපති සහ නිලධාරීන් මෙන්ම ව්‍යාපෘතියට සම්බන්ධ අනෙකුත් ආයතනවල නිලධාරීන් ද සහභාගි වූහ.