ඩුබායි සිට ඊශ්‍රායලයේ ටෙල් අවිව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයිඩුබායි ගුවන් යානය බිමහෙලීමට තැත් කිරීමේ සිද්ධිය පිටුපස ඉස්ලාමීය අන්තවාදී බලපෑමක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු චෝදනා කරනවා.
ඔහු පවසන්නේ අදාළ සැකකරු ඕමාන ජාතිකයෙකු වන අතර ඔහු යානය විනාශ කිරීමේ අරමුණින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු තමන්ව ඝාතනය කරන ලෙස ගුවන් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිටි තිබෙනවා.
එහෙත්, ඔහුගේ මරාගෙන මැරෙන අරමුණ ව්යාපර්ථ වූ පසු මියයාමට අපේක්ෂා කළ බව පැහැදිලි වන බවත් ඊශ්‍රායල අගමැතිවරයා පෙන්වා දෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඊශ්‍රායලය සහ සවුදි අරාබිය එක්ව පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇතැයි සඳහන්.
පසුගිය බදාදා ඩුබායි ගුවන් තොටුපලින් ගමන් ඇරඹූ යානය ගුවන් ගත වී පැය දෙකකට පමණ පසුව අඩි 17,000 කට වඩා පහතට ඇද වැටී ඇති බව ගුවන් මගීන් පවසනවා.
අදාළ ඕමාන ජාතික සහකාර ගුවන් නියමුවා විසින් එහි ඉන්දීය ජාතික ප්‍රධාන නියමුවාට පිහියෙන් ඇන ප්‍රහාර එල්ල කර ඇති අතර, තුවාල ලැබූ ප්‍රධාන නියමුවා විසින් කෙසේ හෝ නියමු කුටියේ දොර විවෘත කිරීමට සමත්ව තිබෙනවා.
ඒ සමගම ක්‍රියාත්මක වූ ගුවන් මගීන් සහ කාර්ය මණ්ඩලය එක්ව ප්‍රහාරකයා මෙල්ල කර ගැටගසා යානයේ පාලනය නැවත ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා.
පසුව තුවාල ලැබූ නියමුවා සහ අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරක්ෂක කණ්ඩායමක් භාරයට ලබා දීමට සවුදි බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
