මුලතිව්, ජූනි 04 – 2026 වසර සඳහා සංවර්ධන වැඩසටහන් කඩිනම් කිරීම සහ ජනතාව මුහුණදෙන ප්‍රධාන ගැටලු සඳහා විසඳුම් ලබාදීමේ අරමුණින් මුලතිව් දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම වන්නි දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති හා සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (04) මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබෙනවා.
විශේෂයෙන් සංවර්ධන නිලධාරීන් සහ තාක්ෂණික නිලධාරීන්ගේ පවතින හිඟය පිළිබඳ අවධානය යොමු වූ අතර, ඉදිරි මාස කිහිපය තුළ එම පුරප්පාඩු පිරවීම සඳහා අදාළ අමාත්‍යාංශවල අවධානය යොමු කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එසේම මුලතිව් දිස්ත්‍රික්කයේ රෝහල්වල ඖෂධවේදීන්ගේ දැඩි හිඟයක් පවතින බව අනාවරණය වූ අතර, අවශ්‍ය සංඛ්‍යාවෙන් ඖෂධවේදීන් 34 දෙනෙකුගේ හිඟයක් පවතින අතර දැනට සේවයේ නිරත වන්නේ 11 දෙනෙකු පමණක් බව නිලධාරීහු පෙන්වා දුන්හ. මෙම තත්ත්වය හේතුවෙන් රෝගීන් විශාල අපහසුතාවට පත්ව සිටින බැවින් කඩිනම් විසඳුම් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බවද මෙහිදී සඳහන් විය.
දිට්වා සුළි කුණාටුවෙන් නිවාස හානි වූ පවුල් 1,121ක් සඳහා වන්දි ලබාදීමේ වැඩපිළිවෙළ ද මෙහිදී සාකච්ඡාවට ලක්විය. ඒ අනුව අදාළ පවුල් සඳහා වෙන්කර ඇති වන්දි මුදල් කඩිනමින් ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දෙන ලදී. එමෙන්ම සුළි කුණාටුවෙන් හානි වූ වැව් දහයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහාද සංවර්ධන කමිටුවේ අවධානය යොමුවිය.
ප්‍රජාශක්ති “ගම් දහසක් – වැඩ දහසක්” වැඩසටහන යටතේ මුලතිව් දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 136ක් සඳහා රුපියල් මිලියන 363.87ක මුදලක් වෙන්කර ඇති බව ද මෙහිදී අනාවරණය කෙරුණා.
තවද, ග්‍රාමීය මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන්කිරීමට අනුමැතිය ලබාදුන් අතර යාපනය විශ්වවිද්‍යාලයට අයත් ධීවර අධ්‍යාපන මධ්‍යස්ථානයක් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමටද සංවර්ධන කමිටුවේ අනුමැතිය හිමි වුණා.

