දෙමව්පියන්ගේ නොසැලකිල්ල නිසා අකාලයේ මිලින වූ මල් කැකුළු

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ පිහිටි Co-op Inn කෝප්වි ඉන් සංචාරක නවාතැනේ අංක 107 කාමරයේ ඊයේ (27) දින පස්වරු 4.00ට පමණ ගින්නක් හටගෙන තිබෙනවා.

එම ගින්නෙන් එහි නවාතැන් ගෙන සිටි අවුරුදු 3,5 වයසවල පසුවන දරුවන් දෙදෙනෙකු දුම් ආශ්වාස කිරීම හේතුවෙන් මියගොස් ඇත.

කාත්තන්කුඩි ප්‍රදේශයේ රෝහලක පිළිකා රෝගයට ප්‍රතිකාර ලබමින් සිටි ඔවුන්ගේ මව බැලීම සඳහා 2026.05.23 දින සිට මෙම දරුවන් දෙදෙනා තම පියා සමඟ නවාතැන්පළේ නවාතැන් ගෙන සිට ඇති බවයි වාර්තා වන්නේ.

එම නවාතැනේ රැඳී සිටි දරුවන්ගේ පියා පස්වරු 2.00ට පමණ මත්පැන් පානය කිරීම සඳහා පිටතට ගොස් ඇති අතර, දරුවන් දෙදෙනා කාමරයේ අගුලු දමා තබා ගොස් තිබෙනවා.

පසුව මත්පැන් පානය කර ආපසු පැමිණි අවස්ථාවේ කාමරයේ ගින්නක් ඇතිව තිබෙන බව ඔහු දැක ඇති අතර එවිට දරුවන් දෙදෙනා කාමරය තුළම සිහිසුන්ව වැටී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

පසුව දරුවන් දෙදෙනා මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කළද ඒ වනවිටත් ඔවුන් මියගොස් තිබෙනවා.

නවාතැනේ ආහාර ශාලාවේ ඇති වූ ගින්න නවාතැන් සේවකයින් විසින් නිවා දමා ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.

මඩකලපුව පොලිසිය සහ අපරාධ ස්ථාන පරීක්ෂණ ඒකකය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

මියගිය දරුවන් දෙදෙනාගේ මළ සිරුරු මඩකලපුව ශික්ෂණ රෝහලේ තැන්පත් කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතයි.