දිවයිනේ තැනින් තැන සිදුවූ මාරක අනතුරු

දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ (12) දින සිදුවූ මාර්ග අනතුරුවලින් පුද්ගලයින් කිහිපදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මොණරාගල පොලිස් වසමේ මොණරාගල මාගන්දනමුල්ල මාර්ගයේ ලිදේකඩේ හන්දිය ප්‍රදේශයේදී මොණරාගල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් යතුරුපැදිකරු සහ ලොරි රථයේ රියැදුරු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු යතුරුපැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 52 ක් වූ  මොණරාගල  ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කටුගස්තොට පොලිස් වසමේ මහනුවර යාපනය ප්‍රධාන  මාර්ගයේ ගොවිපල හන්දිය ප්‍රදේශයේදී මාතලේ දෙස සිට කටුගස්තොට දෙසට ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථයක් මාර්ගය හරහා ගමන් කල පදික කාන්තාවකගේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පදික කාන්තාව බරපතල තුවාල ලබා කටුගස්තොට රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇත.

මරණකාරිය අවුරුදු 56 ක් වූ  කටුගස්තොට  ප්‍රදේශයේ පදිංචිකාරියකි.

බස් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කටුගස්තොට පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

වැලිවේරිය පොලිස් වසමේ වැලිවේරිය බියගම මාර්ගයේ 18 කණුව ප්‍රදේශයේදී බියගම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් එම දිසාවටම ඉදිරියෙන් ගමන් කල තවත් ත්‍රීරෝද රථයක ගැටී අනතුරුව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කාර් රථයකද ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් පසුපසින් ධාවනය වූ ත්‍රිරෝද රථයේ රියැදුරු බරපතල තුවාල ලබා උඩුපිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර කාර් රථයේ රියැදුරු තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කර ඇත.

මරණකරු අවුරුදු 19 ක් වූ  කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනෙක් ත්‍රීරෝද රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

මොරගහහේන පොලිස් වසමේ හොරණ මීපේ මාර්ගයේ මිල්ලෑව ප්‍රදේශයේදී මීපේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පාදුක්ක රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් තිබෙනවා.

මරණකරු අවුරුදු 29 ක් වූ මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පුනරීන් පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ පල්ලිකුඩා හන්දියේදී මාන්නාරම දෙසට ධාවනය වූ බස් රථයක් දකුණට හැරවීමට යාමේදී එම දිසාවටම පිටුපසින් ගමන්ගත් යතුරුපැදියක් බස් රථයේ ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකරු පුනරීන් රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පැදිකරු මියගොස් ඇත.

මරණකරු අවුරුදු 22 ක් වූ  තෙලිකඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

අනතුරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.