ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ වසර 14 ක් පැරණි වාර්තාවක් අලුත් කිරීමට 15 හැවිරිදි විභව් සූර්යවංශි ඊයේ සමත්වුණා.
ඒ මූලික වටයේ ලකුණු සටහන අනුව තෙවැනි සහ සිව්වැනි ස්ථාන හිමිකරගත් කණ්ඩායම් අතර පැවැති තරගයේදී.
තරගය පැවැත්වුනේ රාජස්තාන් රෝයල්ස් සහ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම් අතරයි.
ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගය සදහා සුදුසුකම් ලබාගන්නා දෙවැනි කණ්ඩායම තීරණය කිරීම සදහායි මෙම තරගය පැවැත්වුණේ.
චන්දිගර් හිදි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ රාජස්තාන රෝයල්ස් කණ්ඩායමයි. ඔවුන් පන්දුවාර 20 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 243 ක් රැස්කළා.
විශිෂ්ඨ ඉණිමක් ක්‍රීඩාකල විභව් සූර්යවංශි පන්දු 29 කදී ලකුණු 97 ක් රැස්කලේ 4 පහර 5 ක් සහ 6 පහර 15 ක් සමග.
ඒ අනුව ඔහු මෙවර අයි.පි.එල්. තරගාවලියේ මේ දක්වා හයේ පහර 65 ක් එල්ල කර තිබෙනවා.
ඔහු බිඳ හෙලනු ලැබුවේ 2012 වසරේදී ක්‍රිස්ගේල් විසින් හයේ පහර 59 ක් එල්ල කර තබා තිබූ වාර්තාවයි.
පිළිතුරු ලෙස සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට පන්දුවාර 19 යි පන්දු 2 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස්කිරිමට හැකිවූ ලකුණු සංඛ්‍යාව 196 ක්.
ඒ අනුව තරගයෙන් ලකුණු 47 ක ජයක් වාර්තා කිරීමට රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා.
එම ජයග්‍රහණයත් සමග ඔවුන් දෙවැනි අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබුවා.
එම තරගය හෙට පැවැත්වෙන්නේ රාජස්තාන රෝයල්ස් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතරයි.
ඉන් ජයගන්නා කණ්ඩායමට මෙවර අයි.පි.එල් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබිමේ අවස්ථාව හිමිවනවා.
මේ වනවිටත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා තිබෙනවා.
