රජ කුමරිගේ පුත් කුමරු සිපිරිගෙට

නෝර්වේහි ඔටුන්න හිමි කුමරියගේ 29 හැවිරිදි පුත්‍රයා වන මාරියස් බෝර්ග් හොයිබි දූෂණ චෝදනා දෙකකට වැරදිකරු වී තිබෙනවා.

ඒ අනුව ඔස්ලෝ දිස්ත්‍රික් උසාවිය මඟින් ඔහුව වසර හතරක සිරදඬුවමකට යටත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

තවද වින්දිත කාන්තාවන් සිව්දෙනෙකු සඳහා ක්‍රෝනර් 640,000 ක (22655778.09 LKR) වන්දි මුදලක් ගෙවන ලෙසද අධිකරණය නියෝග කර තිබෙනවා.

මෙම නඩු විභාගයේදී හොයිබිට එරෙහිව එල්ල වී තිබූ තවත් දූෂණ චෝදනා දෙකකින් ඔහුව නිදහස් කිරීමට විනිසුරුවරුන් පියවර ගෙන තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ දුරකථනයේ තිබී පොලිසිය සොයාගත් වීඩියෝ දර්ශන පදනම් කරගනිමින්, සිහිය නොමැති හෝ නින්දේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු දූෂණය කිරීමේ චෝදනාවන්ට ඔහු වැරදිකරු වී ඇති බව ප්‍රකාශ වනවා.

සෞඛ්‍ය හේතූන් මත මාරියස් බෝර්ග් හොයිබි තීන්දුව ප්‍රකාශ කරන අවස්ථාවේදී අධිකරණයට පැමිණ නොසිටි අතර, ඔහු ඒ සඳහා සම්බන්ධ වී ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ බව වාර්තා වනවා.

පැමිණිල්ල පාර්ශවයෙන් වසර හතකට වැඩි සිරදඬුවමක් ඉල්ලා සිටියද, විත්ති පාර්ශවයේ නීතිඥයින් ප්‍රකාශ කරන්නේ මෙම තීන්දුවට එරෙහිව ඉදිරියේදී අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

රාජකීය පවුලේ සාමාජිකයෙකු නොවුණද, ඔටුන්න හිමි කුමරියගේ පුත්‍රයා වීම හේතුවෙන් මෙම සිදුවීම නෝර්වේ රාජකීය පවුලේ කීර්තිනාමයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.

මේ අතර පෙනහළු බද්ධ කිරීමේ සැත්කමකට භාජනය වීමට සූදානමින් සිටින සිය මවගේ දැඩි සුවනොවන රෝගී තත්ත්වය හේතුවෙන් තමන්ව නිදහස් කරන ලෙස හොයිබි කළ ඉල්ලීම ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෙම අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකරන බවයි නෝර්වේ රාජ මාලිගය නිවේදනය කර සිටින්නේ.