ඌවේ දසදහසකට ඉඩම් ඔප්පු

ඌව පළාතේ රජයේ හෝ සින්නක්කර ඉඩමක අයිතිය හෝ උරුමය නොමැති පුද්ගලයින් සඳහා ඉඩම් බලපත්‍ර 10,000ක් ලබාදීමේ වැඩසටහනේ බදුල්ල දිස්ත්‍රික් සමාරම්භක වැඩසටහන අද (19) දින බදුල්ල – ආඳාඋල්පත ප්‍රාදේශීය සභා පරිශ්‍රයේ දී සහ මීගහකිවුල ජාතික පාසල් පරිශ්‍රයේ දී පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් වෙමින් පවතී.

පළාත් ඉඩම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ලද මෙම වැඩසටහන යටතේ, ඉඩමක අයිතිය හෝ උරුමය නොමැතිව සිටි පුද්ගලයින් 10,536ක් වෙනුවෙන් ඉතා කෙටි කාලයක් තුළ ඉඩම් ඔප්පු සැකසීම අවසන් කර ඇත.

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් සකස් කරන ලද ඔප්පු ප්‍රමාණයන් සැලකීමේදී බඩල්කුඹුර, රිදීමාලියද්ද, මඩුල්ල, වැලිමඩ, මහියංගනය, කතරගම,වැල්ලවාය, සියඹලාණ්ඩුව, බිබිල,සහ තණමල්විල,යන කොට්ඨාශ ප්‍රමුඛතාවක් ගනී. මීට අමතරව බණ්ඩාරවෙළ, මැදගම, බුත්තල, සොරණාතොට, මොණරාගල, සෙවනගල, මීගහකිවුල, හාලිඇල, හල්දුම්මුල්ල, ලුණුගල, හපුතලේ, පස්සර, ඌවපරණගම, කන්දකැටිය, ඇල්ල සහ බදුල්ල යන ප්‍රදේශවල ද ඉඩම් ඔප්පු විශාල ප්‍රමාණයක් ලබාදීමට සැලසුම් කර ඇත.