මාස 10කට පසු උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යළි ඇරඹෙයි

මාස 10කට පසු අද (02) දින සිට යලිත් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් රඹුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ධාවනය ඇණහිට තිබුණා.

දිට්වා සුළි කුණාටුවෙන් පසු අදියර කිහිපයක් යටතේ දුම්රිය ධාවනය යළි ආරම්භ කෙරුණා.

ඒ අනුව පළමුව අඹේවෙල සිට බදුල්ල දක්වාත්, කොළඹ කොටුව සිට රඹුක්කන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ වුණා.

මේ වන විට නානුඔය සිට බදුල්ල දක්වාත්, නාවලපිටිය සිට හැටන් දක්වාත් දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදු වෙනවා.

අද (02) සිට පේරාදෙණිය සහ ගම්පොළ දක්වා දුම්රිය ධාවනය ද යළි ආරම්භ කිරීමට නියමිතයි.

පේරාදෙණිය සහ මහනුවර අතර පිහිටි පේරාදෙණිය කළු පාලමේ ප්‍රතිසංස්කරණ කටයුතු තවමත් අවසන් කර නොමැති බැවින් පේරාදෙණිය සිට මහනුවර දක්වා දුම්රිය ධාවනය තවදුරටත් සිදු නොවෙන බව සඳහන්.

අධික වැසි තත්ත්වය හේතුවෙන් පේරාදෙණිය කළු පාලමේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම අභියෝගයක් වී ඇති අතර, එම කටයුතු අවසන් කිරීමෙන් පසු මහනුවර සහ මාතලේ දක්වා දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට හැකිවනවා.

මේ අතර, ගම්පොළ – නාවලපිටිය සහ හැටන් – නානුඔය අතර දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවද සඳහන්.

මේ වන විට උඩරට දුම්රිය මාර්ගයේ 75%ක පමණ කොටසක දුම්රිය ධාවනය සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.