යහපත් පුරවැසියන් ගොඩනගන්නේ ගුණාත්මක අධ්‍යාපනයයි – අග්‍රාමාත්‍යතුමිය

සංවර්ධිත රටක් ගොඩනැගීමට යහපත් පුරවැසියන් අවශ්‍ය බවත්, යහපත් පුරවැසියන් ගොඩනැගෙන්නේ ගුණාත්මක අධ්‍යාපනයක් තුළින් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ප්‍රාථමික පාසල් නවීකරණ ව්‍යාපෘතිය යටතේ පුත්තලම, ඉහළ පුලියන්කුලම විද්‍යා චක්‍රවර්තී මහා විද්‍යාලයේ ඉදි කරන ලද නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමේ උත්සවයට ඊයේ (29) දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

ගමේ පාසල්, නගරයේ පාසල්, ජනප්‍රිය හා ජනප්‍රිය නොවන පාසල් ලෙස පාසල් අතර පවතින භෞතික සම්පත්වල අසමානතාව මඟහැර, සියලු දරුවන්ට සම අවස්ථා සහ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම රජයේ ප්‍රධාන අරමුණ බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ක්‍රියාත්මක කෙරෙන ප්‍රාථමික පාසල් සංවර්ධන ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ මෙම පාසලේ සංවර්ධන කටයුතු සාර්ථකව නිම කර තිබෙන බවද, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව සකස් කරන ලද ප්‍රාථමික පාසල් සංවර්ධන නිර්ණායක පදනම් කරගනිමින් එම ගොඩනැගිල්ලේ සමස්ත සංවර්ධන කටයුතු සැලසුම් කර තිබෙන බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

සිසුන්ට ක්‍රියාකාරකම් මත පදනම් වූ ඉගෙනුම් අත්දැකීම් ලබාගැනීමට අවශ්‍ය පහසුකම්වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල තුළ සුහුරු පුවරු (Smart Boards), ක්‍රියාකාරකම් කාමර (Activity Rooms), කියවීම් කුටි (Reading Rooms) සහ සනීපාරක්ෂක පහසුකම් අන්තර්ගත වන බවත්, එමෙන්ම ආබාධ සහිත සිසුන්ට පහසුවෙන් ළඟා විය හැකි ප්‍රවේශයක් පැවතීම විශේෂත්වයක් බවත් අගමැතිතුමිය සඳහන් කළාය.

පුත්තලම ඉහළ පුලියන්කුලම විද්‍යා චක්‍රවර්තී මහා විද්‍යාලයේ නව ගොඩනැඟිල්ල සහ පහසුකම් සංවර්ධනය සඳහා මිලියන 50ක මුදලක් වෙන් කර ඇති අතර, ඉදිරියේදී තවත් ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවද අගමැතිතුමිය සඳහන් කළාය.

ගුරුවරයකුගේ එක් වචනයකින් දරුවකුගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය වන බව සඳහන් කළ අග්‍රාමාත්‍යතුමිය, කුමන භෞතික සම්පත් ලබා දුන්නද, පන්ති කාමරයේ ගුරුවරයා සහ ශිෂ්‍යයා අතර ඇති සම්බන්ධතාව සහ ගුරුවරයාගේ දායකත්වය දරුවෙකුගේ අනාගතය හැඩගැස්වීමේදී ඉතාමත් තීරණාත්මක වන බව අවධාරණය කළාය.

අග්‍රාමාත්‍යතුමිය විසින් නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීමෙන් අනතුරුව පන්ති කාමර නිරීක්ෂණයට එක් වූ අතර, නව ගොඩනැගිල්ල ඉදිරිපිට නා පැළයක් රෝපණය කිරීමද සිදු කළාය.

විවිධ දක්ෂතා දැක්වූ සිසු සිසුවියන්ට සහතික ප්‍රදානය කිරීමද අග්‍රාමාත්‍යතුමිය විසින් මෙහිදී සිදු කරනු ලැබීය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව උත්සව සභාව අමතමින් පැවසූයේ, ප්‍රාථමික පාසල් නවීකරණය හා සංවර්ධනය කිරීමේ ජාතික වැඩපිළිවෙළ සඳහා පාසල් තෝරාගැනීමේදී ඒ සඳහා ඇති විභවය, අවට ප්‍රදේශයේ දරුවන්ට සිදුවන සේවය සහ අනෙකුත් පහසුකම් නිර්ණායක ලෙස සලකන ලද බවයි.

දිවයිනේ කුමන ප්‍රදේශයක, කුමන පාසලකට ගියත් සියලුම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපනයේදී එකම ආකාරයක පහසුකම්, පන්ති කාමර, ගොඩනැගිලි, උපකරණ සහ වටපිටාවක් ලබා දෙමින් ප්‍රාථමික අධ්‍යාපනය ප්‍රමිතිගත කිරීමට මෙම වැඩසටහන තුළින් හැකිවන බවද ඔහු ප්‍රකාශ කළේය.

මෙම වැඩසටහන අවසන් වන විට මෙවැනි පහසුකම් සහිත ප්‍රාථමික පාසල් 309 කට ආසන්න සංඛ්‍යාවක් රටේ සෑම කොට්ඨාසයක් තුළම ක්‍රියාත්මක කිරීමට හැකිවන බවද ඔහු පෙන්වා දුන්නේය.