“යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්”

ජගත් මිහිතල දින ජාතික සැමරුම අදට යෙදී තිබෙනවා.

“යොදා මිනිස් බලයක් – රැකගමු මිහිතලයක්” යන්න මෙවර එහි තේමාවයි.

සෑම වසරකම අප්‍රේල් 22 වැනිදාට ජගත් මිහිතල දිනය යෙදී තිබෙනවා.

එය බරපතල පාරිසරක අර්බුද පිළිබඳ ලෝක ප්‍රජාව දැනුවත් කරන සොබාදහම සහ මානවයා අතර ඇති සබැදියාව යළි සිහිපත් කරන්නක්.

අමෙරිකා එක්සත් ජනපදයේ සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් මෙහි පුරෝගාමියා ලෙසයි සැලකෙන්නේ. අමෙරිකා එක්සත් ජනපදයේදී මිහිතල දිනය පළමුවරට සමරනු ලැබුවේ 1970 අප්‍රේල් 22 වැනිදායි.

මෙම ‍සැමරුමට අමෙරිකානුවන් මිලියන 20 ක් පමණ සහභාගී වී ඇති බව සඳහන්. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලය 2009 දී මෙම දිනය “ඉන්ටර්නැෂනල් මදර් අර්ත් ඩේ” ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා.

අද වනවිට රටවල් 193 කට අධික සංඛ්‍යාවක් මේ වෙනුවෙන් අත්වැල් බැඳගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙවර මිහිතල දිනය සමරන අවස්ථාව වනවිට දේශගුණික විපර්යාස, ජෛව විවිධත්වය හා පාරිසරික පද්ධති අහිමිවීම, කාර්මික අපද්‍රව්‍ය එක්රැස්වීමෙන් වන හානිය වැනි සංකීර්ණ පාරිසරික ගැටලු රැසක්ද එක්ව තිබෙනවා.

බලශක්ති සංක්‍රාන්තිය හා ගෝලීය ගැටලු හමුවේ ඒකාබද්ධ ප්‍රවේශයක් තුළ පාරිසරික සුරක්ෂණය කෙරෙහි අවධානය යොමුකරමින් මෙවර මිහිතල දින සැමරුම් වැඩසටහන පෙළගස්වා තිබෙන බවයි, පරිසර අමාත්‍යාංශය පවසන්නේ.