මුහුද මැදදී මාළුන්ට මාරු කළ ‘විෂ කහ’ ජාවාරම

මිනිස් පරිභෝජනයට නුසුදුසු, පිළිකාකාරක වර්ණක යෙදූ කහ කුඩු බෙදාහැරීමේ ජාවාරමක් අකුරැස්ස ප්‍රදේශයේදී වටලා තිබෙනවා.

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද මෙම විෂ සහිත කහ කුඩු, අකුරැස්ස නගරයේ වෙළෙඳසැල් රැසකට අලෙවි කර තිබියදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාගනු ලැබීය.

අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් නගරයේ වෙළෙඳසැල් 41ක් ආශ්‍රිතව සිදුකළ හදිසි පරීක්ෂාවකදී මෙම ජාවාරම අනාවරණය කරගෙන ඇත.

එහිදී අනාවරණය වී ඇත්තේ, ඉන්දියානු ධීවරයන්ගෙන් මාළු හුවමාරුවට ලබාගන්නා මිනිස් පරිභෝජනයට නුසුදුසු කහ කුඩු මෙලෙස මෙරට වෙළෙඳපොළට මුදාහැර ඇති බවයි.

පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම කහ කුඩු පැකට් තුළ අඩංගු වන්නේ පාන් පිටි සහ පිළිකාකාරක කෘතිම වර්ණක බවයි.

මීට අමතරව අදාළ පැකට්වල කිසිදු අනුමත ලේබල් රෙගුලාසියක් සඳහන් කර නොතිබූ අතර, ඒවා සෞඛ්‍යයට ඉතා අහිතකර බව නිලධාරීන් තහවුරු කරයි.

මෙම මෙහෙයුමේදී වෙළෙඳසැල් හිමියන් ඇතුළු පුද්ගලයන් 12 දෙනෙකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන තිබෙනවා.

නීති විරෝධී කහ කුඩුවලට අමතරව, අපිරිසිදු ලෙස ආහාර ගබඩා කිරීම, පිසූ ආහාර සහ අමු මස් එකට ගබඩා කිරීම ඇතුළු සෞඛ්‍ය රෙගුලාසි උල්ලංඝනය කළ ආයතන රැසකට ද මෙහිදී දැඩි ලෙස අවවාද කර ඇත.

අත්අඩංගුවට ගන්නා ලද සියලුම ව්‍යාජ කහ කුඩු තොග අකුරැස්ස ප්‍රාදේශීය සභා කසළ අංගනයේදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඉදිරියේ විනාශ කර දමනු ලැබීය.

ආහාර මිලදී ගැනීමේදී ප්‍රමිතිගත ලේබලයක් පවතීද යන්න පිළිබඳව නිරන්තර අවධානයෙන් පසුවන ලෙස සෞඛ්‍ය බලධාරීන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.