ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ පෙත්සම් විභාගය අවසන්

ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරයේ කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එහි විහාරාධිපති හිමියන් විසින් ගොනුකර තිබූ රිට් පෙත්සමේ විභාගය අද අභියාචනාධිකරණය හමුවේ අවසන් කෙරුණා.

එම විහාරයේ විහාරාධිපති ත්‍රිකුණාමලයේ කල්‍යාණ වංශ තිස්ස හිමි විසින් ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම අද කැඳවනු ලැබුවේ ධම්මික ගනේපොල සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ.

එහිදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ පෙත්සම්කාර ස්වාමීන් වහන්සේ විසින් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ බලපත්‍රයට අනුකූලව අදාළ ගොඩනැගිල්ලේ අනවසර ඉදිකිරීම් ඉවත් කර ඇති නිසා පෙත්සම්කරුට එරෙහිව ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා නොකරන බව සඳහන් කළා.

එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුසන්ත බාලපටබැඳි මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් වග උත්තරකාර පාර්ශවයේ දැනුම් දීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වන බව සඳහන් කළා.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන් කිරීමට අධිකරණය නියෝග කළා.