ලංකාවේ ආර්ථික ජයග්‍රහණ ගැන එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය

තායිලන්තයේ බැංකොක් අගනුවර පැවැත්වූ ආසියා පැසිෆික් රටවල් සඳහා වන එක්සත් ජාතින්ගේ ආර්ථික හා සමාජ කොමිසමේ (ESCAP) 82වන සැසිවාරය අතරතුර ග්‍රාමීය සංවර්ධන ,සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය මහාචාර්ය උපාලි පන්නිල මහතා සහ එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ (ESCAP) සංවිධානයේ විධායක ලේකම් Mrs Armida Salsiah Alisjahbana අතර හමුවක් පැවැත්වුණා.

එම සාකච්ඡාවේදී විශේෂයෙන් ශ්‍රී ලංකාව වර්තමානය වන විට අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය දැනුවත් කළ අතර උද්දමනය පාලනය කිරීම, ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීම, විදේශ සංචිත ඉහලයාම සහ විවිධ අභියෝග හමුවේ රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වාගෙන යාම ආදී කරුණු පිළිබඳව අවධානය යොමු කෙරිණා.

එමෙන්ම දිළිඳුකම තුරන් කිරීම සඳහා ක්‍රියාත්මක කර ඇති ප්‍රජා ශක්ති ජාතික වැඩසටහන පිළිබඳවත් සමාජ ආරක්ෂණය හා සවිබලගැන්වීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද නියෝජ්‍ය මහලේකම්තුමියගේ අවධානයට යොමු කරන ලදි.

ශ්‍රී ලංකාවේ දැනට සිදුවන ජනගහනයේ ව්‍යුහාත්මක පරිවර්තනය, විශේෂයෙන් වැඩිහිටි ජනගහනය නිරන්තරයෙන් වැඩිවීම පිළිබඳව එහිදී අවධානය යොමු විය.

එමෙන්ම, මතුවන අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන යන ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කරන්න ලදි. ඒ අතර ප්‍රජා පදනම් සත්කාර පද්ධති ශක්තිමත් කිරීම, සමාජ ආරක්ෂණ රාමුව පුළුල් කිරීම, “Smart Villages” වැනි වැඩසටහන් හරහා ඩිජිටල්කරණය ඉදිරියට ගෙන යාම, සහ දිගුකාලීන සත්කාර සඳහා ඒකාබද්ධ ප්‍රවේශයන් සංවර්ධනය කිරීම පිළිබඳ ද දැනුවත් කෙරුණා.

තවද, සමාජයේ සියලු කණ්ඩායම් වෙත සංවර්ධන ප්‍රතිලාභ සාධාරණ ලෙස ළඟා කරමින්, ජනගහන වෙනස්කම් හමුවේ ශක්තිමත්භාවය සහ තිරසාරභාවය වැඩිදියුණු කිරීම සඳහා ජනතා කේන්ද්‍රීය සහ අන්තර්කරණීය ප්‍රතිපත්තිවල වැදගත්කම පිළිබඳවද අදහස් හුවමාරු කර ගන්නට විය.

මෙම සමාන ප්‍රමුඛතා ඉදිරියට ගෙන යාම සඳහා ESCAP සමඟ අඛණ්ඩ සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කිරීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බව ද අමාත්‍ය උපාලි පන්නිල මහතා සඳහන් කළා.

ඉතා කෙටි කාලයක් තුල ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ආර්ථික ජයග්‍රහණයන් පිළිබඳවත්, සංවිධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමත් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජ්‍ය මහලේකම්තුමියගේ ප්‍රශංසාව පලකරන ලදි. එමෙන්ම ඕනෑම අවස්ථාව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සහයෝගය ලබාදීමට තම සංවිධනය සූදානම් බවද එතුමිය අවධාරණය කරන ලදි.

එම අවස්තවට තායිලන්තයේ ශ්‍රී ලංකා තනාපතිනිය විජයන්ති එදිරිසිංහ මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් එක්ව සිටියහ.