හජ් උත්සවය අදයි

මනුෂ්‍යත්වයේ පරිත්‍යාග ගුණය සිහිගන්වන සහ ලෝකවාසී ජනයාට ඉගැන්වීම් රැසක් කියාදෙන “ඊදුල් අල්හා” හෙවත් හජ් උත්සවය අදයි.

ලොව පුරා ඉස්ලාම් බැතිමතුන් හජ් උත්සවය අද මහත් හරසරින් සමරනු ලබනවා.

ඉස්ලාම් දහමේ මූලික වතාවත්වලින් එකක් වූ ශුද්ධ හජ් වන්දනාව අවසානව වගකීමයි.

ඊබ්‍රහිම් නබිතුමාගේ පවුලේ අයගේ පරිත්‍යාගශීලී ගුණය මෙම වන්දනාවේදී ඉටුකෙරෙන නැමදුම් තුළින් සමරනු ලබනවා.

වසර 5,000 කට පෙර ජීවත් වූ ඊබ්‍රහිම් නබිතුමා හට දීර්ඝ කලක සිට දරු ඵල නොලැබුණු අතර වසර ගණනාවකට පසු දෙවියන් වහන්සේගේ ආශීර්වාදයෙන් එක් පිරිමි දරුවෙකු උපත ලැබුවා.

එක් දිනක් ඊබ්‍රහිම් නබිතුමාට සිහිනයක් මගින් ඔහුගේ පුත්‍රයන් වන ඉස්මයිල් නබිතුමන් පරිත්‍යාග කරන ලෙස දෙවියන් වහන්සේ අණකරනු ලැබුවා.

දෙවියන් වහන්සේගේ අණ එලෙසම ඉටුකළ ඊබ්‍රහිම් නබිතුමන් තම දරුවා වන ඉස්මයිල් නබිතුමන් පරිත්‍යාග කිරීමට යෑමේ දී එම උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් ඊබ්‍රහිම් නබිතුමා කෝපයට පත් වුණ.

එම අවස්ථාවේදී අසළ තිබුණු ගල් පර්වතයකට තමාගේ අසිපතින් පහර දීමත් සමග එම පර්වතය කොටස් දෙකකට කැඩුණු බව ඉස්ලාම් ඉතිහාසයේ දැක්වෙනවා.

එම සිදුවීමෙන් පසු දෙවියන් වහන්සේ තමන්ගේ දරුවා වෙනුවට බැටළුවෙකු පරිත්‍යාග කරන ලෙස අණකර සිටියා.

මෙය ඊබ්‍රහිම් නබිතුමානන් දෙවියන් විසින් පරීක්‍ෂා කර බැලූ අවස්ථාවක් ලෙස සැලකෙනවා.

මොහොමඩ් නබිතුමා පෙන්වා දුන් ජීවන රටාව මුල් කරගෙන මානසික හා ශාරීරික වශයෙන් සුවපත් පිරිස් හජ් වන්දනාවේ යෙදීම අනිවාර්ය කරුණක්. ‍

ලොව පුරා වෙසෙන මුස්ලිම් ජනතාව එක්රැස් වීම, සහෝදරත්වය සහ යහගුණය ලොවට පෙන්වා දීම ද මෙමගින් සිදුකෙරෙනවා.

ශුද්ධ හජ් වන්දනාව සඳහා මක්කම නගරයට යාමට නොහැකි බැතිමතුන් “ඊදුල් අල්හා” හජ් උත්සවය සලාතය ඉටු කිරීම අනිවාර්ය අංගයක්.