එවරස්ට් සිහිනය දියකළ අයිස් කුට්ටි

එවරස්ට් කඳු තරණය කිරීමේ උච්චතම කාලසීමාව ආරම්භ වී තිබියදී නේපාලයේ මූලික කඳවුරට ඉහළින් පිහිටි අයිස් කඳු කොටසක් කඩාවැටීම හේතුවෙන් කඳු තරණ මාර්ගය අවහිර වී තිබෙනවා.

ලොව උසම කඳු මුදුන කරා යන ගමනේදී හමුවන පළමු කඳවුරට මීටර් 600ක් පමණ පහළින් අඩි සියයක් පමණ උසැති දැවැන්ත අයිස් කුට්ටියක් මෙලෙස මාර්ගයට පතිත වී ඇති බව වාර්තා වනවා.

මාර්ගය පිළිසකර කරන විශේෂඥ කණ්ඩායම් පවසන්නේ මෙම අයිස් කුට්ටිය ස්වභාවිකව දියවී යන තෙක් ඉදිරි ගමන් මාර්ගය විවෘත කිරීමට නොහැකි වී ඇති බවයි.

මෙම බාධාව හේතුවෙන් මෙවර වසන්ත සමයේ කඳු තරණ කටයුතු සැලසුම් කළ කාලයට වඩා සති කිහිපයකින් ප්‍රමාද වී ඇති බවත් ඒ හේතුවෙන් කඳු මුදුන කරා යාමේදී දැඩි තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් කඳු නගින්නන් පෙන්වා දෙනවා.

සාමාන්‍යයෙන් අප්‍රේල් මාසය වන විට තුන්වන කඳවුර දක්වා මාර්ගය සකස් කර අවසන් වුවද මෙවර පවතින අවහිරතාවය හමුවේ විකල්ප මාර්ගයක් සකස් කිරීම පවා අවදානම් සහගත වී තිබෙනවා.

මේ අතර පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් මාර්ගය සකස් කරන කණ්ඩායම් හෙලිකොප්ටර් මගින් දෙවන කඳවුර වෙත රැගෙන ගොස් එතැන් සිට ඉදිරියට කටයුතු සිදු කිරීමට නේපාල සංචාරක දෙපාර්තමේන්තුව අවධානය යොමු කර තිබෙනවා.

මැයි මස අවසානය දක්වා පමණක් යහපත් කාලගුණයක් පවතින බැවින් හැකි ඉක්මනින් මාර්ගය විවෘත වනු ඇතැයි බලධාරීන් විශ්වාසය පළ කරනවා.