දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම්

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක හතරකට අයත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අගෝස්තු 02 වනදා රාත්‍රී 11:00 සිට අද (03) රාත්‍රී 11:00 දක්වා පැය 24ක කාලයක් සඳහා වලංගු වන බව සඳහන්.

ඒ අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළේ සහ ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම ඒ අවට ප්‍රදේශ සඳහා අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව සහ නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ඇතුළු ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 2 යටතේ විමසිලිමත්ව සිටින ලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මීට අමතරව කෑගල්ල දිස්ත්‍රික්කයේ අරණායක සහ දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා අදියර 1 යටතේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නුවරඑළිය, තලවකැලේ, කොත්මලේ නැගෙනහිර සහ කොත්මලේ බටහිර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල සහ රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සහ ඒ අවට ප්‍රදේශ සඳහා ද අදියර 1 යටතේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් දැනුම් දෙන්නේ, කඳුවැටි සහ බෑවුම් සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව භූමියේ සිදුවන හදිසි වෙනස්වීම් (පොළොව ගිලා බැසීම්, පස් කඳු පිපිරීම්, උල්පත් ජලය බොරවීම) පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් වන ලෙසත්, අවශ්‍ය වුවහොත් වහාම ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙසයි.