ශ්‍රී ලංකා – ප්‍රංශ මිත්‍රත්වය අලුත් වෙයි

ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් ප්‍රංශ සෙනෙට් සභාවේ, ප්‍රංශ – ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකත්වයෙන් පැමිණි නියෝජිත පිරිසක් පසුගියදා (21 ) පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවී තිබෙනවා.

නියෝජිත පිරිසට ප්‍රංශ–ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමේ සභාපතිනිය වන සෙනෙට් සභික වැනීනා පෙයෝලි-ගැගින් (Vanina Paoli-Gagin) , කණ්ඩායමේ උප සභාපති ඩිඩියර් මාරී (Didier Marie), සෙනෙට් සභික ලෝරන්ස් මුලර්-බ්‍රොන් (Laurence Muller-Bronn) සහ ජාත්‍යන්තර සබඳතා හා ප්‍රොටොකෝල් අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ චාලට් ඩමාන් (Charlotte Dammane) යන මහත්ම මහත්මීන් ඇතුළත්.

නියෝජිත පිරිස පිළිගනිමින් කථානායකවරයා, ගතවූ දශක හතක කාලය තුළ අන්‍යෝන්‍ය ගෞරවය හා පොදු වටිනාකම් මත ගොඩනැගුණු ශ්‍රී ලංකාව හා ප්‍රංශය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය සිහිපත් කළා.

අන්‍යෝන්‍ය අවබෝධය වර්ධනය කිරීම හා ද්විපාර්ශ්වික සහයෝගිතාව ශක්තිමත් කිරීම සඳහා පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකත්වයේ (parliamentary diplomacy) වැදගත්කම ඔහු අවධාරණය කළා.

මෙහිදී “දිට්වා” සුළි කුණාටුවෙන් පසු ප්‍රංශය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය සඳහා කථානායකවරයා සිය කෘතඥතාව පළ කළා.

එමෙන්ම සුළි කුණාටුවෙන් පසු ඇති වූ තත්ත්වය සහ වත්මන් මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවූ අභියෝගද සාර්ථකව කළමනාකරණය කිරීමට වත්මන් රජයට හැකිවූ බව කථානායකවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවා.