ශ්‍රී ලංකා – මාලදිවයින් වෙළෙඳ හා ආයෝජන සබඳතා නව මාවතකට

ලංකා වාණිජ මණ්ඩලයට (Ceylon Chamber of Commerce) අනුබද්ධ ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලයේ (Sri Lanka – Maldives Business Council) 18 වන වාර්ෂික මහා සභා රැස්වීම දෙරටේ රාජ්‍ය හා ව්‍යාපාරික නායකයන් රැසකගේ සහභාගීත්වයෙන් අතිසාර්ථක ලෙස පැවැත්වුණා.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහභාගී වූ අතර ගෞරවනීය අමුත්තා ලෙස ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාඩ් (His Excellency Masood Imad) මහතා සහභාගී විය.

රැස්වීම ඇමතූ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පෙන්වා දුන්නේ ගෝලීය ආර්ථික අභියෝග හමුවේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් වීම ප්‍රශංසනීය බවයි.

2025 වසරේදී ශ්‍රී ලංකාව විසින් මාලදිවයින වෙත ඇමෙරිකානු ඩොලර් මිලියන 132 ක භාණ්ඩ අපනයනය කර ඇති අතර එම වසරේදීම මාලදිවයිනෙන් ඩොලර් මිලියන 5 ක භාණ්ඩ ශ්‍රී ලංකාව විසින් ආනයනය කර ඇති බවත් 2025 වසරේදී ශ්‍රී ලංකාවට වැඩිම සංචාරකයින් පැමිණි රටවල් අතර මාලදිවයින 16 වන ස්ථානයට පත්ව ඇති අතර, මාලදිවයින් සංචාරකයින් 37,000 කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් අමත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

සාම්ප්‍රදායික ආනයන-අපනයන සීමාවෙන් ඔබ්බට ගොස් ආයුර්වේද හා සුපරික්ෂාකාරී වෛද්‍ය විද්‍යාව (Holistic Medicine), අධ්‍යාපනය, සෞඛ්‍ය සංරක්ෂණය, සංචාරක ක්ෂේත්‍රය මෙන්ම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය (SMEs) කෙරෙහි අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා රජය විනිවිදභාවයෙන් යුතු ස්ථාවර සහ ආයෝජක-හිතකාමී ව්‍යාපාරික පරිසරයක් තහවුරු කිරීමට කැපවී සිටින බවද අමත්‍යවරයා මෙහිදී පැවසුවා.

ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහකොමසාරිස් මසූද් ඉමාඩ් මහතා අදහස් දක්වමින් දෙරට අතර පවතින සියවස් ගණනාවක මිත්‍රත්වය අගය කළ අතර දෙරටේ ආර්ථික සබඳතාවල පවතින විෂමතාවයන් අවම කරගනිමින් සමබර හා අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත සබඳතාවයක් ගොඩනැගීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නා.

දෙරට අතර වෙළෙඳ, ආයෝජන සහ සංචාරක සබඳතා ඉදිරියටත් පුළුල් කරමින් ශක්තිමත් ආර්ථික පාලමක් ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා – මාලදිවයින් ව්‍යාපාරික කවුන්සිලය මෙහිදී නැවත සපථ කළේය.