හෙට සිට වැස්ස වැඩි වෙයි

හෙට (28) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (27) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඌව පළාතේ සහ මඩකළපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40–50ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.