ජාත්‍යන්තර ගෘහ සේවක දිනය අදට යෙදී තිබෙනවා.
ගෘහ සේවක සේවිකාවන්ගේ අයිතිවාසිකම්, ගෞරවය සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම පදනම් කර ගනිමින් මෙම දිනය සමරනු ලබනවා.
ජාත්‍යන්තර ගෘහ සේවක දිනය, 2011 වසරේදී ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් සම්මත කරන ලද සම්මුතියට අනුව, නම් කෙරුණා.
එම සම්මුතිය මගින් ගෘහ සේවය ද නිල වශයෙන් ශ්‍රමයක් ලෙස පිළිගෙන තිබෙනවා. ගෘහ සේවකයින්ට ද අනෙකුත් සේවකයින්ට හිමි මූලික ඓතිවාසිකම් හා ආරක්ෂාව හිමි විය යුතු බවයි, එමගින් තහවුරු කර ඇත්තේ.
ලෝකය පුරා ලාංකේය ගෘහ සේවක සේවිකාවන් විසින් පවුල් ප්‍රජාවන් සහ මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා මේ වන විටත් අත්‍යවශ්‍ය කාර්ය භාරයක් ඉටු කරමින් පවතිනවා.
මෙරට ගෘහ සේවක සේවිකාවන් සම්බන්ධයෙන් අවසන් වරට සංගණනයක් සිදු කර ඇත්තේ, 2016 වසරේදී.
ඒ වන විට සමස්ත ගෘහ සේවකයින් සංඛ්‍යාව 80,000 ක්. ඉන්, 66,000 ක් කාන්තාවන් බවයි, වාර්තා වන්නේ.
දරුවන් සහ වැඩිහිටියන් රැක බලා ගැනීම, නිවාස කළමනාකරණය සහ විවිධ සත්කාර සේවා සැපයීම තුළින් ඔවුන් ඉටු කරන මෙහෙවර නිසා ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට අධ්‍යාපන, රැකියා සහ ආර්ථික කටයුතු සඳහා සක්‍රීයව දායක වීමට අවස්ථාව උදා වී තිබෙනවා.
මෙරට ගෘහ සේවය ද පිළිගත් රැකියා ක්ෂේත්රයක් ලෙස නීතිගත කිරීමට අවශ්‍ය මූලික කටයුතු වත්මන් රජය විසින් ආරම්භ කර තිබෙනව බවයි, කම්කරු අමාත්‍යාංශය පවසන්නේ.
නූතනයට ගැලපෙන වැඩ පරිසරයක් මෙන්ම, සේව්‍ය, සේවක අයිතීන් තහවුරු කෙරෙන කම්කරු අණපනත් සංශෝධන සඳහා මේ වන විටත් විද්වත් කමිටුවක් පත් කර තිබෙනවා.
ඒ අනුව, මෙරට ගෘහ සේවය ද විධිමත් කර, සේවා නියුක්තිකයින්ට පුළුල් පරාසයක ඓතිවාසිකම් හිමි වන පරිදි අදාළ සංශෝධන ඇතුළත් කිරීමට නියමිතයි.
අනතුරුව, ඊට අදාළ අංක 189 දරණ ජාත්‍යන්තර කම්කරු සම්මුතියට අත්සන් තබා එය, ශ්‍රී ලංකාව තුළ අනුමත කිරීම රජයේ අපේක්ෂාවයි.
සියලු ගෘහ සේවක සේවිකාවන්ට සාධාරණව සැලකීම යහපත් සේවා කොන්දේසි, සමාජ ආරක්ෂණය, වෘත්තීය සුරක්ෂිතභාවය සහ ඔවුන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමේ වැදගත්කම යළි අවධාරණය කෙරෙනවා.
ශ්‍රී ලංකාවේ මෙන්ම, විදේශයන්හි සේවය කරන සියලු ගෘහ සේවක සේවිකාවන් වෙත සිය ගෞරවය සහ කෘතඥතාව පුද කරන බවයි, ජාත්‍යන්තර ගෘහ සේවක දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් කම්කරු අමාත්‍යාංශය පවසන්නේ.
සෑම ගෘහ සේවකයෙකුටම ගෞරවය, ආරක්ෂාව සහ යහපත් රැකියාවක් යන තේමාව යටතේ අප සියලුදෙනා එක්ව ඔවුන්ගේ ගෞරවය, ඓතිවාසිකම් හා යහපැවැත්ම සුරක්ෂිත කිරීම සඳහා කැප වන බවද එම අමාත්‍යාංශය අවධාරණය කරනවා.
