ජර්මනියේ බර්ලින් ප්‍රයිඩ් ආචාර පෙළපාලියට එල්ල වූ ප්‍රහාරයේ සැකකරු පොලිස් වෙඩි පහරින් මියගොස් තිබෙනවා.
පැය 24 ක දැවැන්ත මෙහෙයුමකින් පසු ස්පැන්ඩෝ ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ට පිහියකින් පහරදීමට තැත් කිරීමේදී මෙලෙස මියගොස් ඇත්තේ 21 හැවිරිදි අබ්දුල් බලවුට් නැමැති සැකකරු බවයි වාර්තා වන්නේ.
බර්ලින් හි ටියර්ගාටන් උද්‍යානය අසල රැස්ව සිටි පිරිසක් වෙත වෑන් රථයක් ධාවනය කර පසුව පිහි ප්‍රහාරයක් එල්ල කිරීමෙන් කාන්තාවක මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මෙය ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාරයක් බවට සියලු සාක්ෂි පෙන්නුම් කරන බවයි ජර්මානු අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්රින්ට් පවසන්නේ.
අයි.එස්.අයි.එස්. සංවිධානය හා සබඳතා පැවැත්වීම ඇතුළු විවිධ අපරාධ සම්බන්ධයෙන් සැකකරු මීට පෙරද වරදකරු වී තිබෙනවා.
ප්‍රහාරයෙන් පසුව ජර්මනියේ ආරක්ෂක තත්ත්වය ඉහළ නංවා ඇති අතර, නිදහස සහ විවෘතභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බව ජර්මානු චාන්සලර් ෆ්රෙඩ්රික් මෙර්ස් ප්‍රකාශ කර සිටිනවා.
