ලෝකයේ වේගයෙන්ම දියුණුවන රටවල් අතරින් 4 වෙනි තැන ශ්‍රී ලංකාවට

නැගී එන සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජන සබඳතා දර්ශකයේ ඉහළම ප්‍රගතිය පෙන්වූ රටවල් අතරට ඇතුළත්වීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා.

2026 ආයෝජන සබඳතා සහ ණය පාරදෘශ්‍යතා වාර්තාව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පසුගියදා නිකුත් කළා.

ප්‍රසාද ලකුණු 6.3ක වර්ධනයක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව සිය දර්ශක අගය 43.67ක් දක්වා ඉහළ නංවා ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවට වඩා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇත්තේ වියට්නාමය, බේලිස් සහ මොසැම්බික් යන රටවල් පමණයි.

2024 වසරේදී ශ්‍රී ලංකාව මෙම වැඩසටහනට ඇතුළත් වුණු අතර, ඉහළ ප්‍රගතිය අත්කරගෙන ඇත්තේ කෙටි කාලයක් තුළයි.

ශ්‍රී ලංකාව, ණය පාරදෘශ්‍යතාව වෙනුවෙන් හිමිවන ලකුණු 13න් ලකුණු 9.71ක් ලබා ගැනීමට සමත්ව සිටිනවා.

එමෙන්ම, පරිසර, සමාජීය සහ පාලන හෙවත් ESG දත්ත සහ ප්‍රතිපත්ති ප්‍රචාරණය වෙනුවෙන් වෙන් වූ ලකුණු 4න් ලකුණු 3.25ක් ලබා ගැනීමටද ශ්‍රී ලංකාව සමත්ව ඇති බව වාර්තාවේ සඳහන්.

ආයෝජකයින් සමඟ අඛණ්ඩව සබඳතා පවත්වා ගැනීම, නිල වෙබ් අඩවි හරහා දත්ත ලබා දීම සහ ප්‍රතිපත්තිමය තොරතුරු විනිවිදභාවයෙන් යුතුව ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකාවේ මෙම ප්‍රගතියට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පෙන්වා දෙනවා.

ගෝලීය වශයෙන් රාජ්‍යයන්හි ණය කළමනාකරණය සහ ආයෝජක විශ්වාසය ගොඩනැගීම සඳහා මෙවැනි විනිවිදභාවයකින් යුතු ආයෝජක සබඳතා පැවැත්වීම අත්‍යවශ්‍ය සාධකයක් බවයි අදාළ වාර්තාව වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.