නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඇප ඉල්ලීම ඉවතට

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ සභාපති වේලු යෝගරාජ් නමැත්තාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ ප්‍රේමරත්න යන අය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඒ අනුව සැකකරු අප්‍රේල් මස 28 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පිහිටි රජයට අයත් ඉඩමක් සඳහා සංවර්ධන සැලසුමක් අනුමත කිරීමට එහි හිමිකරුට වාසියක් සැලසෙන ආකාරයෙන් කටයුතු කිරීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට සැකපිට අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණා.